පාකිස්තානයේ නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක වන හුමෙයිරා අස්ගර් අලී කරච්චි හි මහල් නිවාසයක මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසනවා.
පොලිසියට අනුව 32 හැවිරිදි හුමෙයිරා අස්ගාර් අලීගේ සිරුර සොයාගෙන ඇත්තේ ඇය මියගොස් දින 15කට පසුවය.
ඇගේ සිරුර සොයා ගන්නා විටත් දැඩි ලෙස දිරාපත් වූ තත්ත්වයෙන් පැවති බව පොලිසිය පවසනවා.
පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව මහල් නිවාසයේ කුලිය නොගෙවීම හේතුවෙන් ඇයට අධිකරණයෙන් ඉවත් වීමේ නියෝග ලැබී තිබුණා.
ඇය මියගොස් ඇති බව දැනගන්නට ලැබෙන්නේ අධිකරණ නියෝගය සමඟ පොලිසිය ඇගේ නිවසට පැමිණි අවස්ථාවේදීය.
කිහිප වරක් නිවසේ දොරට තට්ටු කරනු ලැබුවද කිසිවෙකුගෙන් ප්‍රතිචාර නොලැබිම හේතුවෙන් පොලිසිය නිවසට ඇතුළු වූ අතර ඇගේ සිරුර සොයාගන්නේ ඉන් අනතුරුවයි.
පසුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ජින්නා පශ්චාත් උපාධි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යැවූ බව සඳහන් ය.
මූලික විමර්ශනවලදී සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට නොමැති බව පොලිසිය පවසා තිබෙනවා. මහල් නිවාසයේ යකඩ ගේට්ටුව, ලී දොර සහ බැල්කනිය ඇතුළතින් අගුළු දමා තිබූ අතර, එය වෙනත් කිසිවෙකු සම්බන්ධ වී නොමැති බව පැවසෙනවා.
අඟහරුවාදා රාත්‍රියේ ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබූ අතර ඇගේ සිරුර දිරාපත්වෙමින් පවතින බව සඳහන්ය. මරණයට හේතුව විමර්ශනය කරන සවිස්තරාත්මක අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයක් සිදු කෙරෙන බවද වාර්තා වෙනවා. විමර්ශකයින් දැනට ඇයගේ ජංගම දුරකතන වාර්තා භාවිතා කරමින් ඇගේ පවුලේ අය සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින බවද සඳහන් ය.
ජියෝ නිවුස් පුවත්පතට අනුව, මහල් නිවාසයෙන් දුර්ගන්ධයක් එන බව සහ දින කිහිපයක් කිසිවක් සිදු නොවුණු බව දුටු අසල්වැසියන් සැක පහළ කර තිබෙනවා.
සමහර වාර්තාවලින් පෙනී යන්නේ අඟහරුවාදා අලුයම 3 ට පමණ අදාළ පදිංචිකරුවන් විසින් පොලිසියට දැනුම් දුන් පසුව විධිමත් පියවර ගත් බවයි.
හුමෙයිරා අස්ගර් අලි කවුද?
1992 ඔක්තෝබර් 10 වන දින ලාහෝර් හි උපත ලැබූ හුමෙයිරා අස්ගර් අලි කලා ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ අතර, ජාතික කලා විද්‍යාලයෙන් උපාධිය සහ පශ්චාත් උපාධි දෙකම ලබා ගෙන, පසුව පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් M.Phil උපාධියක් ලබා ගත් අයෙකි. ඇය නාට්‍ය, චිත්‍ර සහ ග්‍රැෆික් නිර්මාණය පිළිබඳ හොඳ පුහුණුවක් ලැබූ අයෙක් බව පැවසෙනවා.
හුමයිරා සිය නිරූපණ වෘත්තිය ආරම්භ කරනු ලැබුවේ 2013 වසරේදීය. පසුව ඇය පාකිස්තානයේ ප්‍රධාන පෙළේ විලාසිතා වේදිකාවල හුරුපුරුදු මුහුණක් බවට පත් වී තිබුණා. ඇය රූපවාහිනි කතා මාලා සහ චිත්‍රපටවලට ද දායක වෙමින් ඇගේ වෘත්තිය ජීවිතය ගොඩ නඟා ගනිමින් සිටි බවයි සඳහන් වන්නේ.