ලොව පුරා මිලියන සිය ගණනක් ගැහැණු දරුවන්ට අපයෝජන සහ නොසලකා හැරීම් පිළිබඳ තමන්ගේම කතාවක් පවතී. ඒවා බොහෝ විට බැඳී තිබෙන්නේ තමන්ට වඩා බොහෝ වයසින් වැඩි පිරිමින්ටය. කුඩා දැරියන් මහල්ලන් සහ වයස්ගත පුද්ගලයින්ට විවාහ කර දීම ලෝකය පුරා දැරියන් මුහුණ දෙන බරපතලම ඛේදවාචකවලින් එකකි.
සිවිල් යුද්ධ සහ දරිද්‍රතාවයට මුහුණ දෙන රටවල් ගණනාවක දැරියන් දිනපතා එම අඳුරු සත්‍යයට මුහුණ දෙමින් සිටියි. යේමනයේ සිවිල් යුද්ධයකට පෙර පවා ළමා විවාහ යනු සාමන්‍ය වූවකි. 2015 සහ 2017 අතර යේමනයේ එක්සත් රාජධානියේ තානාපති එඩ්මන්ඩ් ෆිටන් බ්‍රවුන් පවසා තිබුණේ යුද්ධයට පෙර ‘බොහෝ විට වයස අවුරුදු 10 ට අඩු’ තරුණ ගැහැණු ළමයින් තමන්ට වඩා දශක ගණනාවක් පැරණි පිරිමින් සමඟ විවාහ වීම සාමාන්‍ය දෙයක් බවයි. වසර ගණනාවක් පුරා පැවති කටුක සටන් මෙම ගැටලුව තවත් උග්‍ර වීමට හේතු වී තිබෙනවා. යේමනයට විවාහය සඳහා අවම නීත්‍යානුකූල වයසක් පවා නොමැති බවයි වාර්තා වන්නේ. ප්‍රචණ්ඩකාරී සහ ආක්‍රමණශීලී හවුති දෘෂ්ටිවාදය, 2014 දී ඔවුන් අත්පත් කර ගැනීමෙන් පසු කාන්තාවන් සඳහා අයිතිවාසිකම් පසුපසට ඇද දමා ඇති බව සඳහන්ය. පවුල්වලට බලහත්කාර විවාහවලට විරුද්ධ වීමට ඇති හැකියාව මෙම පසුබිම තුළ සීමා වී තිබෙනවා.
තවද ළමා විවාහ දරුවන්ට බලපාන ආකාරය සිද්ධිය අනුව, රට අනුව වෙනස් වන්නකි. යුනිසෙෆ් පවසන්නේ ළමා මනාලියන් HIV/AIDS ආසාදනය වීමට, ළමා වියේදීම දරුවන් ලැබීමට සහ ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා හේතුවෙන් මිය යාමට වැඩි ඉඩක් ඇති බවයි.
අද වන විට ළමා විවාහවල සෘජු ප්‍රතිවිපාකවලින් පෙළෙන කාන්තාවන් මිලියන 650 කට වඩා ලොව පුරා වාසය කරනවා. ගෝලීය අස්ථාවරත්වය ලොව පුරා දරුවන්ගේ ජීවිතවලට නව තර්ජන එල්ල කරමින් පවතී. ගැටුම් පවතින තැන්වල බොහෝ පවුල් ගැහැණු ළමයින් සඳහා විවාහයන් සංවිධානය කරන බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. එය තම දියණියන් ආගන්තුකයන්ගේ හෝ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කරන අතරම පවුල්වල මූල්‍ය බරද ලිහිල් කරනු ලබනවා.
යේමනයේ ගැහැණු ළමයින්ගෙන් වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගෙන් තුනෙන් දෙකකට වඩා විවාහකය. යුද්ධයට පෙර එය දැරියන් දෙදෙනෙකුට එක් අයෙක් ලෙස පැවතුණා. ළමා විවාහ සඳහා කොන්දේසි නිර්මාණය කරන්නේ යුද්ධය පමණක් නොවේ. දරිද්‍රතාවය සහ පුළුල් අනාරක්ෂිත භාවය නිසාම තම දරුවන්ට වඩා හොඳ ජීවිතයක් ලබාදීමට හෝ වියදම් අඩු කර ගැනීමට දෙමව්පියන්ගේ උත්සහයන් නිසා සිදු වන්නකි.
චීනයේ, විවාහ වීමට අවම වයස පිරිමින් සඳහා අවුරුදු 22 ක් වෙද්දී කාන්තාවන් සඳහා අවුරුදු 20 කි. නමුත් යුනිසෙෆ් ඇස්තමේන්තුගත කර ඇත්තේ වයස අවුරුදු 18 ට පෙර විවාහ වූ ගැහැණු ළමයින් මිලියන 35 කට වඩා සිටින බවයි. ඇස්තමේන්තුගත ළමා මනාලියන් මිලියන 216.65 ක් සිටින ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4 කි.
සමානුපාතිකව ළමා විවාහ වඩාත් ප්‍රචලිත වන්නේ මධ්‍යම අප්‍රිකාවේ වන අතර එය බටහිරින් මොරිටේනියා වෙරළ තීරයේ සිට මාලි, නයිජර්, චැඩ්, සුඩානය, ඉතියෝපියාව සහ එරිත්‍රියාව හරහා නැගෙනහිරින් සෝමාලියාව දක්වා විහිදේ. සියල්ලෝම අභ්‍යන්තර අස්ථාවරත්වය, ගැටුම් හෝ කැරලි අත්විඳින රාජ්‍යයන්ය.
යුනිසෙෆ් හි ගෝලීය දත්ත සමුදායට (2020) අනුව, නයිජර් ලෝකයේ ඉහළම ව්‍යාප්තිය වන අතර කාන්තාවන්ගෙන් සියයට 76 ක් විවාහ වී හෝ වයස අවුරුදු 18 ට පෙර විවාහ වන බව සඳහන් වෙනවා. මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ චැඩ් යන දෙකම සියයට 61 ක් සහ මාලි හි එම ප්‍රතිශතය සියයට 51කි.
ආසියාව පුරා සාපේක්ෂව පැතිරීම අඩුය. බංග්ලාදේශයේ, ගැහැණු ළමයින්ගෙන් සියයට 51 ක් වයස අවුරුදු 18 ට පෙර විවාහ වලට ඇතුළත් වෙනවා. නේපාලය වාර්තා කරන්නේ සියයට 35 ක් සහ ලාඕසය වාර්තා කරන්නේ සියයට 33 කි. ඇෆ්ගනිස්ථානය සියයට 29 ක් වාර්තා කරන අතර ඉරාකයේ එය 28 කි.
මේ සතියේ ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වී තිබුණේ හය හැවිරිදි දැරියකට 45 හැවිරිදි පුරුෂයෙකු සමඟ විවාහ වීමට බල කර ඇති බවයි.
තලේබාන්වරු මැදිහත් වී පියා සහ මනාලයා අත්අඩංගුවට ගැනීමට පෙර සිකුරාදා හෙල්මන්ඩ් පළාතේ විවාහය සිදු කිරීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ. ඇයට වයස අවුරුදු නවය වන තෙක් බලා සිටිය යුතු බව තලේබාන්වරු පැවසූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2021 දී තලේබාන්වරුන් ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය තහනම් කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ළමා විවාහ සියයට 25 කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය පසුගිය වසරේ වාර්තා කර තිබුණා. රට පුරා දරුවන් බිහි කිරීමේ සියයට 45 කින් වැඩිවීමක් ද ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
බටහිර රටවල් සම්පූර්ණයෙන්ම නිදහස් නොවේ. යුරෝපීය සංගමයේ සාමාජිකයෙකු වන ගෝලීය වශයෙන් 35 වන විශාලතම ආර්ථිකය හිමි රුමේනියාවේ ගැහැණු ළමයින්ගෙන් සියයට එකක් වයස අවුරුදු 15 දී විවාහ වන බව වාර්තා වෙනවා. සියයට හතක් වයස අවුරුදු 18 ට පෙර විවාහය.