ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සුළු තුවාල ලැබූ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය ඉරිදා (13) වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පැවති ටෙහෙරානයේ බටහිර කොටසේ ගොඩනැගිල්ලකටය. එම අවස්ථාවේ එල්ල වූ ඊශ්‍රායල මිසයිලයකින් පෙසෙෂ්කියන්ගේ කකුලට තුවාල සිදුවී තිබෙනවා.

ජනාධිපති පෙසෙෂ්කියන්ට අමතරව පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්, අධිකරණ ප්‍රධානී මොහ්සේනි එජෙයි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද රැස්වීමට සහභාගී වී සිටි බවයි වාර්තාවේ දැක්වෙන්නේ. වාර්තාවට අනුව ඊශ්‍රායල මෙහෙයුම බේරූට් හි හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීමෙන් පසුව සැලසුම් කරනු ලැබූවකි. පලායාමේ මාර්ග අවහිර කිරීම සඳහා ගොඩනැගිල්ලේ ඇතුළුවන සහ පිටවන ස්ථානවලට ද මිසයිල හයක් එල්ල කරනු ලැබූ බව සඳහන්ය.

ඉරාන නිලධාරීන් ගොඩනැගිල්ලේ පහළ පහළ කොටසක සිටි අතර ප්‍රහාරයෙන් බිම් මට්ටම්වල විදුලිය විසන්ධි කෙරුණු බව සඳහන්ය. කෙසේ වෙතත් කල් තියා සූදානම් කර තිබුණු හදිසි පිටවීමේ දොරටුවකින් බේරී පලාගොස් ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ. පෙසෙෂ්කියන් සමඟ සිටි නිලධාරීන් කිහිප දෙනෙකු ද පිටව යන අතරතුර සුළු තුවාල ලබා තිබෙනවා.

ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් මීට පෙර ඊශ්‍රායලය තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කර සිටියා. “ඔවුන් උත්සාහ කළා, ඔව්… ඔවුන් ඒ අනුව ක්‍රියා කළා.. නමුත් ඔවුන් අසාර්ථක වුණා” ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.

ඉරාන ජාත්‍යන්තර වාර්තාවකට අනුව, ජුනි 16 වන දින බටහිර ටෙහෙරානයේ ෂහ්රාක්-ඊ ගාර්බ් අසල ප්‍රදේශයකට ඊශ්‍රායලය පහර දෙනු ලැබුවා.

ඊශ්‍රායලය සහ ඉරානයේ දින 12 යුද්ධය අතරතුර, ඊශ්‍රායල හමුදා විසින් ඉරාන හමුදා නායකයින් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ඝාතනය කෙරුණා. ඔවුන් අතර ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී හොසේන් සලාමි, ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානී මොහොමඩ් බගෙරි, ගුවන් හමුදා අණදෙන නිලධාරී අමීර් අලි හජිසාදේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් ද ඇතුළත්ය.

දින 12 යුද්ධයේදී ඊශ්‍රායලය ඉරානයේ ඉහළම නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට සැලසුම් කළ බව ද වාර්තා වූවකි.

Latest News

More like this

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...
error: Content is protected !!