එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇති බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කැනේඩියානු මහජන ආරක්ෂක ඇමැති ගැරී ආනන්ද සංගරී මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වෙමින් පවතී.
එරට ජාතික පුරවැසි සන්ධානය බලපෑම් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්ද සංගරී වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
ඔහු දෙමළ කොටි ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකුට අතීතයේ දී සහාය දැක්වීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය බරපතල ලෙස කඩ වී ඇතැයි චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහු මෙලෙස පුරවැඩිභාවය ඉල්ලා ඇත්තේ කැනඩා දේශසීමා සේවා ඒජන්සිය විසින් කැනඩාවේ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයෙකු සඳහාය.
අයදුම්පත අනුමත කරන ලෙස ආගමන නිලධාරීන්ගෙන් ඔහු ඉල්ලීම් කර ඇත්තේ නිල මන්ත්‍රී මණ්ඩල ලිපි ශීර්ෂයේ ලියා ඇති ලිපියක් මඟිනි.
එම චෝදනා මඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නමැති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාදීමට සහාය පළ කිරීම සඳහා ගැරී ආනන්ද සංගරී මහතා විසින් අවස්ථා දෙකකදී ලිපි දෙකක් යොමුකර ඇති බවයි.
2016 වර්ෂයේදී හා 2023 වර්ෂයේදී කැනේඩියානු දේශසීමා නියෝජිතායතනය වෙත අදාළ ලිපි යොමුකර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බව එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ අයදුම් පත්‍රය අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී ආනන්ද සංගරී මහතා විසින් මෙම ලිපි යොමුකර ඇති බව ද අදාළ පුද්ගලයා සෘජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදී පුරවැසිභාවය ලබාදීමේ ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බව ද එම වාර්තා සඳහන් කරනවා.
මානුෂීය කරුණු පිළිබඳ සලකා බලා සෙන්තුරන් සෙල්වකුමාර් නමැති අදාළ පුද්ගලයාගේ පවුල විසිරී යෑමට සාධක පවතින බැවින් ඔහුට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්ද සංගරී මහතා අදාළ ලිපි මඟින් ඉල්ලීම් කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්ද සංගරී මහතා සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට සහාය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල සඳහන්.
කැනඩාවේ මහජන ආරක්ෂක ඇමැතිවරයා වන ගැරී ආනන්ද සංගරී මහතා එලෙස ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන පුද්ගලයකු බැවින් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ගැටලුසහගත බව ද එරට අගමැතිවරයාට දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ චෝදනා සම්බන්ධයෙන් කැනේඩියානු මහජන ආරක්ෂක ඇමැති ආනන්ද සංගරී මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබඳ නිශ්චිත කරුණු දැක්වීම නුසුදුසු බව ය.
එමෙන්ම අමාත්‍ය ධුරය ලබාගැනීමෙන් අනතුරුව තමන් කිසිවිටකත් එවැනි ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර නොමැති අතර කැනේඩියානු දරුවකු සිටින පුරවැසියකුගේ පවුලක් බිඳීයෑම වැළැක්වීමේ අරමුණින් තමන් සිදු කළ දැනුම්දීම අසාමාන්‍ය දෙයක් නොවන බව ද ගැරී ආනන්දසංගරී මහතා පෙන්වාදී තිබෙනවා.
තමන් කිසිවිටකත් ත්‍රස්තවාදී සංවිධානයකට සහාය නොදක්වන බවත් ත්‍රස්තවාදී සංවිධානයකට පක්ෂව තීරණ නොගන්නා බවත් අදාළ නිවේදනය මඟින් ආනන්ද සංගරී මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.
කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් කැනේඩියානු අගමැතිවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දිගුකාලීන දෙමළ-කැනේඩියානු නීතිඥයෙකු සහ හිටපු මානව හිමිකම් නීතිඥයෙකු වන ආනන්දසංගරී, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, දේශපාලන ඝාතන සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සංවිධානයක් වන එල්ටීටීඊය සමඟ දිගුකාලීන සම්බන්ධයක් ඇති පුද්ගලයෙකි.