මුතුරාජා සහ කණ්ඩුල අපට ලැබුණු හැටි..

පසුගිය ඉරිදා යළි තායිලන්තයට ගෙන ගිය මුතුරාජා සහ කැලණි පන්සලට අයත් කණ්ඩුල ඇතා ශ්‍රී ලංකාවට ලැබුණේ කැලණිය පන්සලේ නායක හිමියන් විසින් එවකට ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට කළ යෝජනාවක් මත ඇය තායිලන්ත රජයෙන් කළ ඉල්ලීමක් අනුව යැයි එම කටයුත්තට මැදිහත්කරුවකු වූ එවකට ගම්පහ දිසා ලේකම් තිලක් හපන්ගම පැවැසීය. එම සිද්ධිය පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙමින් ඔහු කියා සිටියේ මුතුරාජා හා කණ්ඩුල මෙරටට ලබා ගැනීම වසර දෙකකටත් වැඩි කාලයක් කැපකරමින් කළ උත්සාහයක ප්‍රතිඵලයක් බවය.

2001 වසරේදී මෙම අපූරු ඇත් පැටවුන් දෙදෙනා මෙරටට ලද පසු එයින් වඩාත් සුන්දර ඇත්පැටවා වූ කණ්ඩුල කැලණිය පන්සලට ලබාගත් අතර මුතුරාජා රජයේ කැමැත්ත මත කන්දේ විහාරයට දුන් බවද හෙතෙම සඳහන් කළේය. “මේ දෙන්නා ඒ කාලෙ තායිලන්තෙ සර්කස් පෙන්නන්න ගෙනයන පැටව් දෙන්නෙක්. එතකොට අවුරුදු පහක් විතර ඇති. හරි ලස්සනයි. දඟයි. කණ්ඩුල දවස් ගණනක් කැලණි පන්සලේ සර්කස් පෙන්න පෙන්න හිටියා. හිටපු දිසාපති හපන්ගම අතීතය සිහිපත් කළේය. මුතුරාජා හා කණ්ඩුලගේ ශ්‍රී ලංකා ගමනට තමන් දායක වූ අයුරු සිහිපත් කරමින් ඔහු මෙසේද කීය.

“1998 අවුරුද්දේ දවසක කැලණිය නායක හාමුදුරුවන් එක්ක මම ජනාධිපතිතුමිය හමුවුණා. ඒ ජනාධිපති අරමුදලින් කැලණි පෙරහරට යම් මුදලක් ලබාදෙන්න. එතකොට මම ගම්පහ දිසාපති. ඒ වෙලාවේ උන්වහන්සේ මට කිව්වා කැලණිය පන්සලට පෙරහරේ කරඬුව ගෙනියන්න ඇතෙක් ලබාගන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. මේ ගැන ජනාධිපතිතුමියට කිව්වම එතුමිය ඒ ගැන සොයාබලා අපට කිව්වේ තායිලන්තයෙන් ඒ දවස්වල ඉන්දුනීසියාවට දීපු ඇතෙක් මැරිල. ඒ නිසා කිසිම රටකට සත්තු නොදෙන්න රජය තීරණය කරලය කියල. ඒත් නායක හාමුදුරුවො කිව්වේ තවදුරටත් කතා කරල බලන්න කියලයි.

කොහොම හරි ජනාධිපතිතුමිය ඒ රටේ ආණ්ඩුව එක්ක කතා කරල ඇත් පැටවෙක් දෙන්න කැමැති කරගත්තා. ඒ ගැන අවුරුදු දෙකකටත් වඩා දෙරට අතර ලියුම් හුවමාරු වුණා. ඒ අතරේ තායිලන්ත රජතුමාගේ මව මියගියා. ඒ නිසා තවත් පරක්කු වුණා. රජතුමා අස්සන් නොකර සතුන් හුවමාරු වෙන්නේ නැහැ. අවුරුදු දෙකක් විතර ගත වෙද්දි තමයි මේ දෙන්න ආවේ. ඉන්පසු කණ්ඩුල කැලණි පන්සලේ තියාගෙන මුතුරාජා කන්දේ විහාරයට දුන්නා. කණ්ඩුල තවම කැලණියේ. එයා පෙරහරවලට දෙනවා. ඒත් වැඩ ගන්න දෙන්නේ නැහැ. නායක හාමුදුරුවෝ කණ්ඩුල වෙනුවෙන් වෙනම විශේෂයෙන් ආරක්ෂිත ස්ථානයක් සකස් කරල තියෙනවා.”යැයි ද හෙතෙම කීවේය.

– විනීතා එම්. ගමගේ

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...