අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම ස්ථානවල ඉදිකිරීම් ඉවත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසා තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “කිරි ඉතිරෙන රටක්’’ DAIRY HUB සමාරම්භක උළෙලේදීය.
මෙම උත්සවය තඹුත්තේගම, නිරාවිය ගොවිපොළේදී ඊයේ (20 වැනිදා) පැවැත්වුණු අතර එහිදී ලාල්කාන්ත අමාත්‍යවරයා ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතාගේ ද නම සඳහන් කරමින් මේ බව පවසා තිබුණා.
“ඔය ගොල්ලොත් වැව් තාවුලුවල ඉන්නවා නම්, හෝටල් කරගෙන හරි මොනවා කරගෙන හරි ඉන්න අය ඉන්නවා නම් අයින් කරන්න කලින් යන්න. ඒ තැන්වලින් අයින් කරනවාමයි. ඒක ඩඩ්ලි සිරිසේනද, අපිට එකෙක්වත් ලොකු නෑ.’’
එහිදී ඇමැතිවරයා මෙසේද කියා සිටියා.
“එයා අපිට ලොකුයි මේ වී මිලදී ගැනීමේ ක්ෂේත්‍රයේදී. ඒ ක්ෂේත්‍රයේදී එයා වටිනා මිනිහෙක්. මිනිස්සු අපහාස කළාට, බැන්නාට ඒ මනුස්සයා නැත්නම් අපිට තාම බත් කනකොට ගල් හැපෙනවා. ලංකාවේ මිනිස්සුන්ට හාල් ගරන්නේ නැතිව වැලි කැටයක් හැපෙන්නේ නැතිවෙන්න හාල් ටික වෙළෙඳපොළට දීපු මිනිහා තමයි ඩඩ්ලි සිරිසේන. ඒ මනුස්සයා වැඩක් කරලා තියෙනවා. වටිනා මිනිහෙක්. හැබැයි අපිට එයත් එක්ක ප්‍රශ්නයක් තිබෙනවා. ගොවි ජනතාවගෙන් වී මිලදී ගන්නකොට ඇතැම් අවස්ථාවල ගොවියාට සාධාරණ මිලක් ලබාදීලා නෑ. ඒක අපි බේරගත්තා ගිය මාසේ ඉඳන්. අපි කිව්වා අපි වී කිලෝව 120 ට ගන්නවා කියලා. ඒගොල්ලෝ ගත්තා රුපියල් 130 ට 140 ට.
ඊළඟට අපිට ප්‍රශ්නයක් තියෙනවා වී ටික මිලදී අරගෙන පාරිභෝගිකයා ගසා කනවාද කියලා. ඒදෙක විතරයි අපිට බේරගන්න තියෙන්නේ. නැත්නම් ඒ මනුස්සයා මේ රටට සැලකිය යුතු ජාතික වගකීමක් ඉෂ්ට කරපු මනුස්සයෙක්. ඒ ගෞරවය දෙන්නත් ඕනේ ඕන්නැති කෑල්ලක් තියෙනවා නම් ඒ ඕන්නැති කෑල්ල අයින් කරන්නත් ඕනේ.’’ යැයිද ඇමැතිවරයා සඳහන් කරනු ලැබුවා.
අනුරාධපුර, නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරු ඔය ජලාශය, පොළොන්නරුව මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව ඇතුළු වැව් 22 ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට නියමිතය.
ඒ අනුව, නුවර වැව රක්ෂිතයේ මායිම් සලකුණු කිරීමේ කටයුතු පෙරේදා (19 වැනිදා) ආරම්භ කෙරුණා.