අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ඇරඹෙයි

රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය (2025-26) එළබෙන සිකුරාදා (14 වැනිදා) ආරම්භ වන අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එහි සමාරම්භක තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.

ක්‍රීඩා සමාජ 9 ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටය සති 9 ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී තරග 4 බැගින් පැවැත්වීමට නියමිතය.

කෙසේ වුවත් නත්තල් නිවාඩුව හේතුවෙන් දෙසැම්බර් මස අවසන් සතියේදී තරග නොපැවැත්වෙනු ඇත.

ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 36 ක් වන අතර සෑම සතියකදීම කණ්ඩායම් 8 ක් තරග වදින විට එක් කණ්ඩායමකට විවේකයක් හිමිවනු ඇත. තරගාවලියේ මූලික වටය ජනවාරි මස 26 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය.

මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත. එහි 5 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා කණ්ඩායම්වලට දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.

කෙසේ වුවත් පෙර පැවැති තරග රටාව වෙනස් කරමින් මෙවර තරගාවලියට අලුත් තරග කොන්දේසියක් එක් කර ඇති අතර තරග කොන්දේසියට අනුව මූලික වටය අවසානයේ ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට දෙවැනි වටයට සහභාගි වීමේ අවස්ථාව මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවද අහිමිවනු ඇත.

ගියවර (2024-25) රග්බි ලීගයේ ශූරයන් වූ මහනුවර කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු සතියේදී විවේකයක් හිමිව තිබේ. පළමු සතියේදී තවත් තරග 3 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන් තරග 2 ක් සෙනසුරාදා (15 වැනිදා) දිනයේදීද, සෙසු තරගය ඉරිදා (16 වැනිදා) දිනයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පළමු සතියේ සියලුම තරග පස්වරු 4.00 ආරම්භ වීමට නියමිතය.

එහිදී ගුවන් හමුදාවට එරෙහිව යුද හමුදාව රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදීද, ශ්‍රී ලයන්ස් කණ්ඩායමට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සී.ආර්. ක්‍රීඩාංගණයේදීද සෙනසුරාදා තරග වදින අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව පොලිස් කණ්ඩායම කොළඹ තුරඟ තරග පිටියේදී ඉරිදා තරග බිමට පිවිසෙනු ඇත.

සෑම තරගයකම ජයග්‍රාහකයන් සඳහා ලකුණු 5 ක් පිරිනැමෙන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කළහොත් හෝ ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජයට පත්වුව හොත් පමණි.

පළමු සතියේ තරග කාලසටහන

නොවැ. 14 – හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී
නොවැ. 15 – ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
නොවැ. 15 – ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සී.ආර්. ක්‍රීඩාංගණයේදී
නොවැ. 16 – සී.එච්. ඇැන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර තුරඟ තරග පිටියේදී

(ශානුක අරවින්ද)

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...