ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක හේතු මත මෙසේ තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ඉල්ලා ඇති බව සඳහන්.
තේරිම් කමිටු සාමාජිකයෙක් සඳහන් කළේ ආපසු පැමිණෙන බව කී පිරිස 16 දෙනකුගේ සිට 8 දෙනා දක්වා අඩුවි ඇති බවයි.
එම නම් ලැයිස්තුව ලැබුණ සැනින් ආදේශක ක්‍රිඩකයින් හෙට දිනයේම පාකිස්තානය බලා පිටත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පැවසිය.
ඒ අනූව ඔවුන්ගේ අභිමතය පරිදි තරගාවලියෙන් ඉවත්වීමට ඉඩ දෙන නමුත් නව ක්‍රීඩකයන් ආදේශ කර තරගාවලිය පවත්වාගෙන යාම අපේක්ෂාව බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.
අවසර නොමැතිව ආවොත් ක්‍රිකට් තහනමකටත් ඉඩ !
ක්‍රිකට් ආයතනයේ අවසර නොමැතිව පැමිණෙන ක්‍රිඩකයන්ට වසර 2ක තරග තහනමකට ලක්වීමටද නීතිමය හැකියාවක් තිබෙන බව සඳහන්.
පවතින තත්ත්වය මත හෙට තරගය පවත්වාගෙන යාම පිළිබඳවද අවිනිශ්චිත තත්ත්වයක් හටගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් මේවන විටත් සාකච්ඡා වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආරක්ෂාව ගැන ජනපති අනුර ගෙන් ප්‍රතිඥාවක් !
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද(12) සහතික විය.
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව පිලිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වෙත ගොස් සිටී.
දැනට එහි එක් තරගයක් පමණක් පවත්වා ඇති අතර තවත් තරග ගණනාවක් ඉදිරියේදි පැවැත්වීමට නියමිතය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය සමග පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.
අවසන් වන තෙක් එරට රැදී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස්..
ආරක්ෂක ලේකම් සම්පත් තුයිය්කොන්තා පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ. ඔවුන් නවාතැන් ගන්නා හෝටල් වලටද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර තිබේ.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට පැමිණිම ප්‍රතික්ෂේප කරද්දි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණ දැක්වු සහය සිහිපත් කළ ජනාධිපතිවරයා, ඊට කෘත ගුණ දැක්වීමක් ලෙසද මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැදී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ.
එසේම තරඟයේ පැවැත්වෙන කාලය ඇතුලත ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමග එක්ව ගන්නා බවටද ජනාධිපතිවරයා සහතික වී තිබේ.
