රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් කිලෝ 329ක අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘රන්මල්ලී’ නමැත්තාට අයත් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 07 දෙනකු සහ එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගැනීමට සූදානම් කර තිබූ වාහන 07ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සහාය ලබාගෙන මෙම වැටලීම කර තිබිණි.

ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේ සිට බහුදින යාත්‍රාවකින් රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය තොගය ජාවාරම්කරුවන් විසින් කිරින්ද අඳගල මුහුදු වෙරළට ගොඩබා ඇත්තේ ඊයේ (12දා) අලුයම 1.30ට පමණය.

බහුදින යාත්‍රාවකින් ගෙනා අයිස් තොගය කිලෝ 50 මලුවල අසුරා කඹයකින් වෙරළට ඇදගෙන ඇවිත්..

බහුදින යාත්‍රාවෙන් රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය තොගය අඳගල වෙරළ ආසන්නයේදී කුඩා බෝට්ටුවකට පවටා එය වෙරළ ආසන්නයට රැගෙන ඒමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇත.

පසුව එම අයිස් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 50 බැගින් වූ මලුවල අසුරා එම මලු විශාල කඹයක ගැටගසා මුහුදේ පා කරගෙන අඳගල වෙරළට රැගෙන එන්නට ජාවාරම්කරුවන් පියවර ගෙන තිබේ.

එසේ මුහුදේ පා කරගෙන රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය සහිත මලු රැගෙන යෑමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනකු වාහන 07කින් මුහුදු වෙරළට පැමිණ සිට ඇත.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ කිරින්ද පොලිසියේ කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය එසේ මුහුදු වෙරළ දක්වා රැගෙන එමින් සිටියදීය. මෙහිදී කිලෝ 50 බැගින් ඇසුරූ අයිස් මත්ද්‍රව්‍ය මලු 19ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට පැමිණි පුද්ගලයන් කිරින්ද, කඩුවෙල සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

වාහන 7ක් සමග අයිස් රැගෙන යෑමට පැමිණි 7කුත් දැලේ – වාහන 7 අතර BMW එකකුත්

මෙහිදී අත්අඩංගුවට ගත් වාහන අතර වැගන් ඍ වර්ගයේ රථ 2ක්, නෝහා වෑන් රථ 2ක්, ඇල්ටෝ මෝටර් රථයක්, ෆියස් වර්ගයේ රථයක්, බීඑම්ඩබ්ලිව් රථයක්ද තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ට්‍රැක්ටරයක ආධාරයෙන් අඳගල වැල්ලේ සිට කිරින්ද පොලිසියට රැගෙන ගොස් තිබිණි.

අඳගල ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම ප්‍රදේශය තෝතැන්නක් වී ඇති අතර අලි ගැවසෙන වෙරළබඩ ප්‍රදේශයක් නිසා කිසිදු බාධාවකින් තොරව මෙම කටයුතු ජාවාරම්කරුවන්ට සිදුකළ හැකි බවයි. කිරින්ද වෙරළ ආරක්ෂක බළකාය සහ නාවික හමුදාව සිටියද මෙම කටයුතු නිසිලෙස කළමනාකරණය නොවන බවද ගම්මු කියති.

ඔවුන් ඉල්ලා සිටින්නේ මින් පසුව හෝ මෙම ප්‍රදේශවලට ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් කළ වැටලීමක්

කිරින්දේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ එම ප්‍රදේශයට ගොස් ඇත.

එහිදී මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීමට පොලිස්පතිවරයා කටයුතු කළේය. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාද සහභාගි විය.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය.

(divaina)
හේමන්ත රන්දුණු සහ අමිල සම්පත් පල්ලියගුරු

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!