අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා චරිත ඉන්නේ ඉතාම අල්ප වශයෙන්. ඒ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විශේෂයි. දේශපාලන ජිවීතය වගේම ඇය වසර දහයක් තරම් දීර්ඝ කාලයක් ඇගේ ආදරණීය පවුල් ජීවිතය ලස්සනට ගත කරලා පෙන්නලා තියෙනවා. රැළි නොනඟන, කුණුටු නැති මහ මුහුදක් නෑ වගේම ප්‍රශ්න නැති සරල ඒකීය රේඛාවකම ගමන් කරන ජීවිත කොහේවත් නැහැ. නොසිතුව විදියට පහුගිය කාලේ ඇය, ඇගේ විවාහ ජීවිතයේ ඇතුළාන්තය ගැන විවෘතව රටටම කිව්වා. ඇයට ආදරය කරන ඇගේ ගමන දිහා ආදරයෙන් බලාගෙන හිටිය අය ඒ පුවතෙන් ෂොක් වුණා කිව්වත් හරි.. තවත් සමහරු ඊට පස්සේ වෙන්න පුළුවන් දේවල් දිහාත් බලාගෙන් හිටියා. හිරාන්ගෙන් ප්‍රකාශයක්, ආපහු හිරුණිකාගෙන් ප්‍රතිප්‍රහාරයක්.. දෙන්නා දෙපැත්තට බෙදිලා ගහගන්න හැරි බලන් ඉන්න ආස අයත් ඒ අතර හිටියා. ඒක තමයි ලෝක ස්වාභවය. ඒත් හිරුණිකාගෙන්වත් හිරාන්ගෙන්වත් ඒ වගේ කුණු රස ඉල්ලන කිසිම කෙනෙක්ට ඒ රස විඳින්න ඉඩක් ලැබුණේ නැහැ. දිගු නිහැඩියාවකට පස්සේ යූ ටියුබ් නාලිකාව සමඟ කළ සංවාදයකදී හිරුණිකා ඇගේ ජීවිතය, විවාහ ජීවිතය,පොරොන්දම්, වෙන්වීම ගැන කතා කරලා තිබුණේ මෙහෙම. මේ සංවාදය ගහගෙන බැණගෙන, මරාගෙන, ආයේ කිසිදවසක මූණක්වත් නොබලන්න වෙන වෙන බොහෝ දෙනෙකුට වැදගත් වේවි කියලා අපි හිතනවා.

කොහොමද ඔබේ මේ දවස් ගෙවෙන්නේ.. ඔබට ආදරය කරන බොහෝ දෙනෙක් කල්පනා කරනවා ඇති නේද හිරුණිකාට මොකද වුණේ කියලා?

මීට මාස හත අටකට කලින් ප්‍රසිද්ධ කළා මාත් මගේ සැමියාත් වෙන් වෙලා ඉන්නේ කියලා. හැබැයි අපි දෙන්නම තීරණය කරලා තියෙන්නේ අපි දික්කසාදයකට යන්නේ නෑ කියලා. වෙනත් විවාහයකට යනවා නම්නේ දික්කසාදයකට යන්න ඕන. ඔහු අවුරුදු 10ක් තිස්සේ මාත් එක්ක එකට ජීවත් වුණු මගේ ආදරණීය සැමියා. ඔහුයි මායි අතර තියෙන්නේ අතිශය ළඟ මිත්‍රත්වයක්. ගොඩක් අය හිතනවා වෙන් වුණාට පස්සේ හතුරෝ වගේ වෙන්න ඕන කියලා. අපි දෙන්නට තියෙන එකම ප්‍රශ්නේ සැමියා බිරිඳ විදියට එක වහලක් යට ඉන්න බැරි එක විතරයි. ඒකට හේතුව දෙන්නගෙම ඊගෝ ප්‍රශ්නයක්. අපි කොච්චර උත්සාහ කරත් එක තැනයකට එන්න අමාරුයි. අපි උත්සාහ කළා අවුරුදු දහයක් තිස්සේ.

විවාහ වෙනකොට පොරොන්දම් එහෙම ගළපන ඒවා කළාද?

පොරොන්දම් මුකුත්ම බලලා නෙවෙයි විවාහ වුණේ. ළඟදි බැලුවා. ඇයි මෙහෙම වුණේ කියලා බලන්න. එතකොට කිව්වා කිසිම විදියකින් ගැළපෙන දෙන්නෙක් නෙවෙයි කියලා. අපි යාලු වෙලා මාසයක් ඇතුළත හැමදේම සිද්ධ වුණා.
මැයි 30 මම එයාව දැක්කා. ඊට පස්සේ සතියක් දෙකක් කතා කර කර හිටියා. ඊට පස්සේ දෙන්නට දෙන්නා ගැන ආදරයක් ඇතිවුණා. ජුලි 06 මම බැන්දා.තාමත් ඒ මිත්‍රත්වය තියෙනවා. ටිකකට කලිනුත් එයා එක්ක කතා කරේ. ගොඩක් අය මට කිව්වා, ළමයි ගැන හිතන්න තිබුණා කියලා. දික්කසාදයකය හෝ වෙන්වීමකට යන දෙන්නෙක්ගේ අවසානම ඔප්ෂන් එක තමයි ඒක. කවුරුත් රණ්ඩු වෙච්ච ගමන් වෙන් වෙන්නේ නැහැනේ. පුළුවන් තරම් උත්සහ ගන්නවා දෙන්නා එකට ඉන්න. දෙන්නම ඒ දේ තේරුම් ගත්තට පස්සේ ළමයි ඉස්සරහා රණ්ඩු වෙලා ඒ නරක අත්දැකීම ළමයින්ට දෙන්න ඕන නැහැ. දැන් තමයි අපි දෙන්න හොඳටම ඉන්නේ. මගේ ළඟ බබාලා ඉන්නවා. අපි දෙන්නා විවාහ වෙලා ඉන්නකොට වුණත් එයා වැඩවලට ගියාම එහෙම නිතරම ගෙදර නැති නිසා දරුවන්ටත් ලොකු ගාණක් නැහැ. අපි දෙන්නා ගෙවල් දෙකක හිටියත් මේ වැඩසටහන ඉවර වුණු ගමන්මම යන්නේ එහේ. හිරාන්ගේ ගෙදර. මොකද බබාලා එහේ අද. මගේ ගෙදර ඉන්නකොට හිරාන් එනවා. එකම වෙනස තියෙන්නේ දෙන්නා රෑට ගෙවල් දෙකක නිදාගන්න එක විතරයි.

අපි එකට ඉන්නකොට නිතර නිතර මත ගැටුම් ඇති වෙනකොට අපේ වෙලාවයි, කාලයයි, හැඟීම් සියල්ල නාස්ති වෙනවා. මුළු ශක්තියම අපි නාස්ති කරගන්නවා. රණ්ඩු වෙන්නයි, කතා කරන්නයි, අඬන්නයි.. දැන් මට පේනවා අපි දෙන්නගෙම ජීවිත වෙන වෙනම හදාගන්නත් වැරදුණේ කොහොමද කියලා හිතන්නත් අපිට ඉඩ ලැබිලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට නොගැළපීමක් නේ ගැළපීමක් කරගන්නේ. වෙනමම පවුල් පරිසර දෙකක. වෙනමම අදහස් තියෙන දෙන්නෙක් තමයි එකට එකතු වෙන්නේ. එතනදි කාටවත් වෙන්න හොඳ නැති දෙය තමයි තමන්ට තමන් අමතක වීම. අනිත් කෙනා වෙනුවෙන් කැපවෙනකොට තමන්ට අතමන්ව අමතක වෙනවා. ඒක අපි දෙන්නටම වුණා. අපි දෙන්නම දැන් ගොඩක් නිදහසේ ජීවත් වෙනවා. දෙන්නටම දෙන්නගේ අතින් වැරැද්දක් වෙන්නේ නැත්නම්..අපි දෙන්නට තියෙන ගෞරවේ නැති වෙලා නෑනේ.

හිතවත්කම ඔහොම පවත්වාගෙන යනකොට තිබුණ ආදරයටත් වඩා ගොඩක් ආදරය දැනිලා ආයේ එකතු වෙන තැනට වුණත් යන්න පුළුවන් නේද?

අපි දෙන්නට සැමියයි බිරිඳයි විදියට එකට ඉන්න බැරි වුණාට අපි දෙන්නා හරි හොඳ යාළුවෝ. මම ජීවිතේ වැඩිම කාලයක් අම්මා තාත්තා එක්ක ඉඳලා ඊළඟට වැඩිම කාලයක් හිටපු කෙනානේ මෙයා. අපිට කතා කරන්න බැරි දෙයක් නෑ. බෙදාගන්න බැරි දෙයක් නෑ. අපිට චූටි බබාලා තුන්දෙනෙක් ඉන්නේ. එයාලට නිතර පේන්න තියෙන්නේ සමහරක් වෙලාවට පේන්න තියෙන්නේ රණ්ඩු වෙන එකත් නෙවෙයි. කතා නොකර ඉන්න එක. එතකොට එයාලා හිතනවා මේක තමයි නෝමල් රිලේෂන්ශිප් එකක් කියන්නේ කියලා. එයාලත් කවදහරි ලොකුවෙලා ඒ වගේ රිලේෂින්ශිප් එකකට යන්න පුළුවන්. දැන් අපි දෙන්නත් ගොඩක් සතුටෙන් ඉන්නේ. එයාලත් ගොඩක් සතුටෙන් ඉන්නේ. දිකාසදය හෝ වෙන්වීම ළමයින්ට අමිහිරි අත්දැකීමක් වෙන්නේ මේ නිසා.. ළමයින්ට සිද්ධ වෙනවා දෙන්නගෙන් එක්කෙනෙක් තීර ගන්න. උදාහරණයක් විදියට හිරාන් මගේ ළමයි ගන්න එන දවසට මගේ මූණවත් නොබලා ළමයින්ට වාහනේට නගින කියනවා නම්, මගේ වැරදි ළමයින්ට කියනවා නම්, මම තාත්තගේ වැරදි ළමයින්ට කියනවා නම්.. ළමයින්ට දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න බැහැ. අපි දෙන්නා කවදාවත් එහෙම වෙලා නැහැ. හිරාන් කියන්නේ ලෝකේ ඉන්න හොඳම තාත්තා කියන එක මම නිරන්තරයෙන් කියනවා. මම ලෝකේ ඉන්න හොඳම අම්මා කියලා මම නෙවෙයි කියන්නේ. හිරාන් තමයි ඒක පෙන්නන්නේ.

දැන් තමයි මට හිතෙන්නේ කේන්දරවල තියෙන දේවල්වලත් මොනවහාරි දෙයක් ඇති කියලා. මොනවා කළත් සමහරවෙලාවට එක වහලක් යට ඉන්න බැහැ කියන කතාව. ගොඩක් තැන්වලින් කියන්නේ දෙන්නම ප්‍රබල වැඩියි කියලා. එහෙම එකට හිටියොත් ජීවිතවලට පවා ප්‍රශ්න එන්න පුළුවන් කියලා.

Latest News

More like this

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...