සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු වසර හතරකට පසු පළමුවරට මේ දිනවල එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙනවා.
එහිදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකදී මාධ්‍යවේදිනියක් 2018 වසරේ ඔහුගේ නියෝගයෙන් සිදු කළ බව කියන මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් විමසීමක් කර තිබෙනවා.
අමරිකානු ජනාධිපතිවරයා එම ප්‍රශ්නයෙන් දැඩි ලෙස කෝපයට පත් වී අදාළ ප්‍රශ්නය ඇසූ මාධ්‍යවේදිනියට චෝදනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එය අතිශයින්ම මදභේදාත්මක කාරණයක් බව ජනාධිපති ට්‍රම්ප් පැවසූ බවයි වාර්තා වන්නේ. එම ප්‍රශ්නය සිය අමුත්තා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පමණක් ඇසු ප්‍රශ්නයක් යැයි ඔහු චෝදනා කර තිබෙනවා.
“ඔබ ප්‍රශ්න කරන්නේ අතිශයින්ම මතභේදාත්මක කෙනෙකු ගැනයි. ඔබ කතා කරන ඒ මහත්මයාට බොහෝ දෙනෙක් කැමති වුණේ නැහැ. ඔබ ඔහුට කැමති වුවත් නැතත්, දේවල් සිදුවෙනවා”
ට්‍රම්ප් එහිදී තවදුරටත් අවධාරනය කරමින් පවසා ඇත්තේ ඝාතනයට නියෝග කළ බව කියන බින් සල්මාන් කුමරු ඊට සම්බන්ධ නැති බවයි.
“ඔහු ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ. අපට එය එතනින් අවසන් කළ හැකියි.” ට්‍රම්ප් ඔටුන්න හිමි කුමරු ආරක්ෂා කරමින් පවසා තිබෙනවා.
එක්සත් ජනපදයේ ජීවත් වූ මාධ්‍යවේදියකු වූ ජමෝල් කෂෝගි 2018 දී ඉස්තාන්බුල්හි සෞදි තානාපති කාර්යාලය තුළ කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවා.
