කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සඳහා දැනට රෝගීන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනයේ සිටින බව වෛද්‍යවරුන්ගේ සිවිල් හා වෘත්තිය අයිතිවාසිකම් සඳහා වූ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.
මේ අනුව අදාළ සැත්කම් සඳහා ඇතැම් රෝගීන්ට වසර හතරක් දක්වා බලා සිටීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.
එම වෘත්තීය සමිති සන්ධානය හදවත් රෝගීන්ගේ පොරොත්තු ලේඛනයට අදාළ තොරතුරු ලබාගෙන ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) යටතේ ලබාගත් දත්ත ඔස්සේය.
රෝහලේ හෘද සැත්කම් වාට්ටු පහක රෝගීන් 600, 756, 2,400, 400 සහ 761 ක් පොරොත්තු ලේඛනවල සිටින අතර සැත්කම් සඳහා වසර හතරක් දක්වා ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන අතර පෞද්ගලික රෝහල්වලට මුදල් වියදම් කළ නොහැකි අයයි. එහිදී හදවත් සැත්කමක් සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 2 ක් වැය විය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු පෙන්වා දෙන ආකාරයට රාජ්‍ය අංශයේ සැත්කමකට පෙර රෝගීන් මිය යාමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතී.
මෙම රෝගීන් සඳහා ජනාධිපති අරමුදලෙන් විශේෂ ප්‍රතිලාභ ලබා නොදීම සම්බන්ධයෙන් වෛද්‍ය සංජීව මහතා මෙම වසරේ අයවැය විවේචනය කරමින්ද පෙන්වා දුන් කරුණකි.
හදිසි හෘද සැත්කමක් අවශ්‍ය රෝගීන්ට සහාය වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස එහිදී ඔහු රජයෙන් ඉල්ලා සිටියා.
කොළඹ ජාතික රෝහලේ මහල් 16 කින් යුත් හෘද සැත්කම් පහසුකමක් ඉදිකිරීමට රජය යෝජනා කර ඇතත්, ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200 ක් පමණක් වෙන් කිරීම ප්‍රමාණවත් නොවන බවයි වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙන්නේ.
