ශ්‍රී ලංකාව සහ කොරියානු රජයන් අතර ඇති කරගත් රැකියා ගිවිසුමට අනුව E-9 කොරියානු රැකියා වීසාව යටතේ මෙරටට ලැබෙන ගිවිසුම් ප්‍රමාණය දැඩි ලෙස පහළ වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(26) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.
එම රැකියා වැඩටහන යටතේ නිෂ්පාදන අංශයට අදාළව 2023 වසරේදී එක් කාර්තුවකට 1500ක් වැනි ප්‍රමාණයක් ලැබී ඇති බවත් එය 2024 වන විට 200 වැනි පහළ මට්ටමකට වැටී ඇතැයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
කොරියානු E-9 රැකියා වැඩසටහන යටතේ EPS (Topik) විභාගය සහ අනෙකුත් ප්‍රයෝගික පරීක්ෂණ සඳහා මුහුණ දී කොරියානු රැකියා වෙබ් අඩවියට ඇතුළු වන අපේක්ෂකයින් වසර දෙකක් ඇතුළත් රැකියා ගිවිසුමක් ලැබී කොරියාවට පිටත්ව යා යුතු වෙනවා. එසේ නොවුණහොත් නිකරුණේ වසර ගණනාවක් බලා සිට එම වෙබ් අඩවියෙන් ඉවත් වීමට අපේක්ෂකයින්ට සිදුවේ. මේ අනුව 2023 වසරේ විභාගය සමත් වී 2024 එම වෙබ් අඩවියට ඇතුළත් වූ 5000කට අධික සංඛ්‍යාවකට අවම වශයෙන් රැකියා ගැළපුමක් හෝ නොමැතිව එම වෙබ් අඩවියෙන් ඉවත් වී යාමට සිදුව ඇතැයි විපක්ෂ නායකවරයා කියා සිටියා.
ඔහු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකව මෙම ප්‍රශ්න්ය විසඳීමට මැදිහත් වන ලෙසයි.
