විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි මුදල් පැකේජයක් පිරිනැමීමට රජය කටයුතු කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ආපදාවලින් පූර්ණ හානියට පත් නිවාසයක් වෙනුවෙන් නව නිවාසයක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කළා.

එම නිවාස සකස් කරගැනීමට ඉඩමක් නොමැතිනම් රජයෙන් ඉඩම්, එසේ නැත්නම් නිවස වෙනුවෙන් ලබා දෙන ලක්ෂ 50ට අමතරව, ඉඩමක් ලබා ගන්න තවත් ලක්ෂ 50ක් එකතුව රුපියල් කෝටියක් වශයෙන් ලබාදීමට නියමිත බව ජනාධිපතිවරයා දන්වා සිටියා.

අර්ධ වශයෙන් හානි වු නිවස සඳහා රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 25ක් දක්වා ඉහළ දමා ඇති බව එහිදී සඳහන් වුණා.

තවද, මියගිය අයගේ පවුල්වලට ලක්ෂ 10ක්ද, ලියාපදිංචි සත්ත්ව ගොවිපොළ සඳහා ලක්ෂ 02ක්ද, ලියාපදිංචි සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලක්ෂ 02ක්ද, පූර්ණ හානි වූ ධීවර බෝට්ටු සඳහා රුපියල් ලක්ෂ 4ක්ද ලබා දීමට නියමිත බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ආපදාවට ලක් වූ පාසල් සිසුවෙකුට රුපියල් 25,000ක් ලබාදීමට තීරණය කර ඇති අතර, ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා ගෙවීම උපරිම ලක්ෂ 50 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම, මේ වෙනවිට ආපදා හේතුවෙන් නිවාස 5,165ක් විනාශ වී ඇති අතර, අර්ධ හානි සිදුවු නිවාස 57,312ක් ඇති බවත්, ලක්ෂ 17කට අධික පිරිසක් මෙම ආපදා තත්ත්වයට මුහුණ දී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබෙනවා.

නිවාසවලට යළි යාමේ දී අත්‍යවශ්‍ය බඩු මිලදී ගැනීම සඳහා, නිවාසවල අයිතිය නොසලකා එක ඒකකයකට රුපියල් 50,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

නිවාස අහිමි වූ අයට, අවතැන් කඳවුරුවල සිටීමට නොහැකි නම් කුලී නිවසකට යාමට මාසිකව රුපියල් 25,000ක් බැගින් මාස තුනක් ගෙවීමට තීරණය කර ඇති අතර, එය මාස හයක් දක්වා දීර්ඝ කිරීමටත් තීරණයක් ගෙන තිබෙනවා.

නිවාස අහිමි වී ජීවනෝපාය අහිමි වූ පවුල්වලට, දෙදෙනෙකු සිටී නම් මාසිකව 25,000ක්, දෙදෙනෙකුට වඩා සිටින පවුල්වලට මාසිකව 50,000ක් මාස 03ක් සඳහා ගෙවීමට තීරණයක් ගෙන තිබෙනවා.

Latest News

More like this

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...