‘දිට්වා’ සුළි කුණාටුව පිළිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කර තිබියදී ඊට අදාළව සාධනීය පියවර නොගැනීම සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීම පිළිබඳව සලකා බැලීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වන බවට මාධ්‍ය වාර්තා කිහිපයක් මේ වන විට සංසරණය වෙමින් පවතී.
ඩේලි මිලර් පුවත්පත මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පෙන්වා දෙන්නේ නොවැම්බර් 25වැනිදා වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවුම් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
එහෙත් පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනපති අනුර කුමාර දිසානායක මහතා යටතේත් පවතී.
2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත අනුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බැඳී සිටින්නේය.
ආපදා පුරෝකථනය, අදාළ ආයතන අතර සම්බන්ධීකරණය සහ ජ්‍යාත්‍යන්තර ආයතන සම්බන්ධීකරණය එවැනි සැලැස්මක ඇතුළත් විය යුතුය. මෙම සියල්ල තිබියදී ආපදා කළමනාකරණ කමිටුව රැස්වීමට අපොහොසත් වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.
මෙම පනත අනුව ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ බලය ජනපතිවරයා සතුවන අතර ඔහු එයට අසමත් වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට හසු විය හැකිය.
මව්බිම පුවත්පත පළ කළ වාර්තවෙන් පෙන්වා දෙන්නේ මෙම චෝදනා ගොනු කරමින් නඩුවක් ගොනු කිරීමට සම්බන්ධ වූ නීතිඥ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් විසින් බවයි.
ෆ්‍රී ලෝයර්ස් (නිදහස් නීතිඥයෝ) නමින් වන මෙම නීතිඥ මඬුල්ල දෙසැ. 5 කොළඹ නිපොන් හෝටලයේදී රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.
මෙම නීතිඥ මඬුල්ලේ කැඳවුම්කරු ලෙස පසුගිය දා ගල්කිස්ස අධිකරණයේ දී පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනවලින් ආමන්ත්‍රණය කරමින් හා බාධා කරමින් සිරස්තල මැවූ නීතිඥ ගුණරත්න වන්නිනායක පත් කර ඇති අතර ඊට ජනාධිපති නීතිඥයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ගණනාවක් ඇතුළත් බව සඳහන් වෙනවා.
ආපදා තත්ත්වයකදී රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා නිල බලය ඇත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටය.
මෙවැනි ආපදා තත්ත්වයකට සූදානම් වීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්ත ලද සැණින් ක්‍රියාත්මක වීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කරනු ලැබුවේ 2023 වර්ෂයේය.
2005 ආපදා කළමනාකරණ පනත යටතේ සකස් කරන ලද මෙම ‘ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම’ 2023 වසරේ සිට 2030 දක්වා කාලය තුළ ආපදා තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නෛතික රාමුව විස්‍තර කරන අතර පර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් පසු නෛතික බලයක් හිමි වූ සැලැස්මකි.
මෙරටට බලපෑ හැකි සුනාමි, සුළි කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ස්වාභාවික ව්‍යසනයන්හිදී ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියා කළ යුතු ආකාරය එමඟින් පෙන්වා දී තිබෙනවා.
එසේ ම, එය ක්‍රියාත්මක කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන “ජාතික හදිසි ආපදා ක්‍රියාකාරී මෙහෙයුම් සැලැස්ම” (National Emergency Operation Plan) මීට සමගාමීව සකස් කරනු ලැබූවකි.
කෙසේ නමුත්, මෙම පනත, මෙම සැලසුම සේම, එම සැලසුම ක්‍රියාවට නංවන ජාතික මෙහෙයුම යන නෛතික කාරණා ත්‍රිත්වයම මෙහිදී නොසලකා හැරීම මෙම නීතිඥ කණ්ඩායම සලකා බලමින් සිටින බවයි මව්බිම පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ.
