ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ විවාහය අවලංගු කළ බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
පසුගිය සති ගණනාවක් තිස්සේ ඇගේ විවාහය සම්බන්ධයෙන් මතුවුණු නොයෙකුත් කටකතා සහ ප්‍රචාරයන් අවසන් කරමින් ඇය ඉන්ස්ටග්‍රෑම් සටහනක් ඔස්සේ මේ බව දැනුම් දුන්නා.
“පසුගිය සති කිහිපය තුළ මගේ ජීවිතය වටා බොහෝ මතභේදාත්මක දේ පළ වූ අතර මේ අවස්ථාවේ කතා කිරීම වැදගත් යැයි මම හිතුවා. මම මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට ඉතාම කැමතියි. එහෙත් විවාහය අවලංගු කරන බව මම ඔබට පැහැදිලි කළ යුතුයි.” මන්දානා ඇගේ සටහනෙහි එසේ පවසා තිබෙනවා.
සමාජ මාධ්‍යවල වෛරල් වූ ඇගේ ප්‍රේම සම්බන්ධයෙන් පසු ඇයගේ විවාහයට දින නියම වී තිබුණේ පසු ගිය 2025 නොවැම්බර් 23 වන දිනට ය. කෙසේ වෙතත් එදින ඇගේ පියා වන ශ්‍රී නිවාස් මන්දානා හදිසි හෘදයාබාධයකට ලක් වීම හේතුවෙන් විවාහය අවලංගු කළ බව වාර්තා වුණා. පසුව ඇය විවාහ වීමට නියමිතව සිටි සංගීත නිර්මාපකයකු වන පාලාෂ් මුචාල් ද රෝහල් ගත කළ බවට වාර්තා පළ වීමෙන් පසුව උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමුණා.
දෙපාර්ශ්වයේම පවුලේ සාමාජිකයන් මුලදී විවාහය ප්‍රමාද වී ඇති බවත් ඉක්මණින් සිදුවන බවත් මහජනතාවට පැවසුවද පසුව මන්දානාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් විවාහයට අදාළ සටහන් ඉවත් කිරීම සහ විවාහ ගිවිස ගැනීමේ මුද්ද නොමැතිව ඇය පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටීමත් සමඟ බොහෝ දෙනෙක් ඔවුන්ගේ විවාහය බිඳවැටී ඇති බවයි අනුමාන කළේ.
මන්දානාගේ ප්‍රකාශයෙන් පසු පාලාෂ් විසින් ද ඔහුගේ ප්‍රකාශයක් පළ කර අතර තමා පූජනීය ලෙස සැලකූ දෙයක් වටා ඇති වූ කටකතා හේතුවෙන් දැඩි කළකිරීමට පත්ව සිටින බව කියා තිබෙනවා. මෙය තමාගේ ජීවිතයේ ඉතාම දුෂ්කර කාල සීමාවක් බවත් එයට කරුණාවෙන් මුහුණ දෙන බවයි එහි සඳහන් වෙන්නේ.
