‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාව වෙත ආණ්ඩුව සහන පැකේජයක් නම් කළ අතර එය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව අදාළ සහන ලැබිය යුතු පුද්ගලයින් පිළිබඳ මුල් අදියරේ දී ග්‍රාම නිලධාරි, ආපදා සහන සේවා නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු එක් රැස් කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසා තිබෙනවා.
සහනාධාර ලබා දීමේ පළමු වැනි අදියර වන ආපදාවට ලක් වූ නිවාසවලට නැවත පදිංචිය සඳහා යාමේදී අවශ්‍ය පිරිසිදු කර ගැනීම් වෙනුවෙන් ලබා දෙන රු 25,000 ක මුදල ලබා දීම සඳහා එම තොරතුරු රැස් කිරීම මේ වන විට සිදු කරන බවයි නිහාල් අබේසිංහ මහතා සඳහන් කරන්නේ.
එසේ තොරතුරු එක් රැස් කර ගැනීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් එම ගෙවීම සහතික කරන බව ඔහු පවසනවා. මෙය ඔහු නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කය තුළ ආපදාවට ලක් වූ ඇතැම් ප්‍රදේශවල සහනාධාරය ලබා දෙන ක්‍රමවේදයයි.
ඒ අනුව රටේ බරපතලම හානිවලට ලක් වූ අනෙකුත් ප්‍රදේශවල මෙම සහන ලබා දීමේ ක්‍රියාවලිය සිදු වන ආකාරය රජය තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.
කෙසේ වෙතත් ගංවතුරට හසුවූ බොහෝ ප්‍රදේශවල මේ වන විට ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති නිසා එම නිවාස පිරිසිදු කරගෙන ඒවාට පදිංචි වීමට කාලය උදා වුවත් රජයේ මෙම දීර්ඝ ක්‍රියාවලිය තුළ එම සහන ජනතාවට නිසි පරිදි තවමත් ලැබී ඇත්ද යන්න්න ගැටලුවකි.
රාජ්‍යයේ ඉහළම ආයතනවලින් ලබා දෙන සහන පහළට පැමිණ ප්‍රතිලාභ හිමිවිය යුතු සුදුස්සාටම ලැබීමේ යාන්ත්‍රණයක් රජය ප්‍රාදේශීය මට්ටමින් සකස් කර ඇති බවත් මෙම නිලධාරීන් හතරදෙනාගේ සහතිකය ලබා ගැනීම එම යාන්ත්‍රණයේම එක් කොටසක් බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි නාලිකාවක් සමඟ කළ සංවාදයක් අතරතුරදීය.
