‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය මැද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා අවිවේකී කාර්යබහුල කාලසීමාවක් ගත කරනු දක්නට ලැබුණා.
රට පුරා ආපදා කළමනාකරණ මෙහෙයුම්වලට සහභාගී වන අතර ජනාධිපතිවරයා අමෙරිකාවේ නිව්යෝර්ක් පදනම් කරගත් ප්‍රධාන පෙළේ සඟරාවක් වන Newsweek වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ එම කාර්යබහුල කාලසටහන ක්‍රියාත්මක වන අතරතුරදීමය.
එම සම්මුඛ සාකච්ඡාව ඔස්සේ ශ්‍රී ලංකවට මේ මොහොතේ වැදගත්වන ඉතාම තීරණාත්මක කරුණු කිහිපයක් ජ්‍යාත්‍යන්තරය වෙත සන්නිවේදනය කිරීමට ඔහු උත්සාහ ගත් බවකුත් දක්නට ලැබුණා. මෙම ප්‍රයත්නය ආපදාවට ලක් වූ රටක් ලෙස නැවත හිස එසවීමට උත්සහ කරන රටක රාජ්‍ය නායකයකු ලෙස ගත යුතුම සාධනීය පියවරක් ලෙස සැලකිය හැකිය.
ඔහු පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජ්‍යාත්‍යන්තරය වෙත සන්නිවේදනය කළ යුතු අත්‍යාවශ්‍යම කරුණු තෝරා බේරාගෙන තිබුණු ආකාරය සලකා බැලිය යුතුමය.
එහිදී ජනාධිපතිවරයා මතුකළ ප්‍රධානම කාරණය වන්නේ මේ මොහොතේ ගෝලීයව සාකච්ඡාවට බඳුන්වන දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම යන කාරණයයි. විශේෂයෙන් අමෙරිකාව, චීනය වැනි බලවත් රටවල් කාබනික විමෝචනය ක්‍රියාවලියට කරන බලපෑම ඔස්සේ ලෝකය පුරා රටවල දේශගුණික විපර්යාසයන්ට සහ ස්වභාවික විපත්වලට සිදු කර ඇති බලපෑම මේ වන විට ගෝලීයව බරපතල සංවාදයට මතු වූ මාතෘකාවකි.
ජනාධිපතිවරයා එම සංවාදය රට විපතට පත් වූ වේලාවේ ශ්‍රී ලංකාවේ වාසියට යොදා ගන්නට උත්සහ කරන ආකාරයක් සම්මුඛ සාකච්ඡාව තුළ දැකගත හැකිය. එහිදී ජනපති අනුර ඉස්මතු කළ හොඳම කාරණය වන්නේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට අඩුම දායකත්වයක් දක්වන රටක් බවයි. එම දායකත්වය සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් නොවන බව පෙන්වාදීමට ඔහු උපායශීලී වී තිබුණා. එය ව්‍යාංගයෙන් “පව් කළේ තොපි.. ගෙවන්නේ අපි” යන්න මතක් කරදුන්නාක් බඳු ප්‍රකාශයකි. කෙසේ වෙතත් මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවට වූ ස්වභාවික විපතේ තරම ජ්‍යාත්‍යන්තරයට දැනෙන්න කළ මතක් කිරීමක් බව නම් කිව යුතුමය.
එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි ණය බරින් පෙළෙන රටවල් සඳහා නව ප්‍රවේශයක් ඉල්ලා සිටියා. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ණය බරින් මිරිකෙන, දේශපාලන කැළඹිලි සහිත රට මෙම ස්වභාවික විපතත් සමඟ අර්බුදයකට යමින් සිටින බවයි. ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පූර්ණ ණය ප්‍රතිවුහගතකරණයකට එළැඹි සිටියද එම ණය ගෙවීමේ ක්‍රියාවලිය කෙතරම් දුෂ්කර එකක් වනු ඇත්ද යන්න එහිදී ඔහු ඉස්මතුකර දුන්නා.
Neesweek සඟරාවට දුන් සම්මුඛ සාකච්ඡාවෙන් ජනපතිවරයා කළේ ශ්‍රී ලංකාව දෙස තවදුරටත් අවධානය යොමු කරන්නැයි ජ්‍යාත්‍යන්තර රටවල්, මූල්‍ය ආයතන සහ ආධාර ලබා දෙන සංවිධානවලට මතක් කිරීමකි. විශේෂයෙන් ආපදා ප්‍රතිසාධනයන් (Disaster Recovery) සඳහා අරමුදල් සපයන ලෝක බැංකුව පදනම් කරගත් Catastrophe Deferred Drawdown Option (Cat-DDO) සහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතිය (UNFCCC) යටතේ ක්‍රියාත්මක වන හරිත දේශගුණික අරමුදල (Green Climate Fund) වැනි අති දැවැන්ත අරමුදල් ක්‍රියාත්මක වන ආයතනවල ඇස් ශ්‍රී ලංකාව දෙසට යොමු කරවා ගැනීමට එම ප්‍රකාශය සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බව විශ්වාසය. ජනපතිවරයා ගැසූ ගල වැඩ කරයිද කියා බලා සිටිය යුතුය.
