ආපදාවට ලක් වූවන් තමා මේ වන විට මිලියන 4කට වැඩි මුදලක භාණ්ඩ සහ අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කර ඇති බව ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු වන දිනේෂ් මුතුගල මහතා පවසා තිබෙනවා.
එම ආධාර බෙදා දීම සඳහා හෙලිකොප්ටරයක් යොදාගැනීම නිසා එල්ල වන සමාජ විවේචන වලට ඔහු පිළිතුරු ලබා දී තිබුණේ ඔහුගෙන් ඉගෙන ගැනීමට පැමිණෙන සිසුන් පිරිසක් ඉදිරියේය.
සිසුන් විසින් මුදල් ගෙවා පැමිණෙන්නේ ඔහුගෙන් ජීව විද්‍යාව නම් සංකීර්ණ විෂය කරුණු ඉගැන ගැනීමට වුවත් ඔවුන්ගේ වටිනා කාලය කා දමමින් මේ ගුරුවරයා විසින් දරුවන්ට දේශනා කරමින් සිටින්නේ සමාජ මාධ්‍යවලදී උත්තර දී නිමා කළ යුතු අතිශය පෞද්ගලික කාරණාවක්ය.
ඔහු එහිදී දරුවන් ඉදිරියේ දීර්ඝ වශයෙන් එම සිදුවීමට අදාළ හෙලිකොප්ටරයේ නැගී යාමට එරෙහිව එල්ල වුණු විවේචනවලට පිළිතුරු දී ඇත්තේ මේ ආකාරයටයි.
“ඒ කාලය මුළුල්ලේ මිලියන 4කට වඩා අපි බඩු බෙදුවා. ඒ අතරේ තමයි හෙලිකොප්ටරේ ගියේ. හොඳ කියන මිනිස්සු ඉන්නවා. නරක කියන මිනිස්සු ඉන්නවා. කොත්මලේට මට යන්න වුණේ පිට පිට නැවත නැවත ලැබෙන පණිවිඩ නිසා. නැත්තම් ඇත්තටම මම ඔච්චර රිස්ක් එකක් ගන්නෙත් නැහැ. මම දැනුවත්ව මම එහෙට යන තුරු වෙනත් හෙලිකොප්ටරයකින් බඩු ගෙනැත් තිබුණේ නැහැ. අනික මම ගෙනිච්චේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නෙවෙයි. බර වැඩි දේවලුත් නෙවෙයි. මම ගෙනිච්චෙ බෙහෙත් වැඩි පුර. බෙහෙත්වල බර අඩුයි. ගෙනියන්න පුළුවන් ප්‍රමාණය වැඩියි. ඒකට ප්‍රශ්න ප්ත්‍ර දීලා තිබුණා. ඇයි හෙලිකොප්ටරයක ගියේ. නාරම්මල ඉඳලා ටේක් ඕෆ් කරලා කොත්මලේට යන්න විනාඩි 20යි ගියේ. සාමාන්‍යයෙන් නාරම්මල ඉඳලා කුරුණෑගලට යන්නත් අවමය විනාඩි 25ක් යනවා. කුරුණෑගල ඉඳන් නුවරට එන්න අවමය පැයක් යනවා. ගොඩබිමෙන් ගියානම් පැය ගාණක ගමනක්. ඒ වෙලාවේ ගලගෙදර ගස් වැටිලා පැය හතරක විතර බ්ලොක් එකක් තිබ්බා.
ඒ වෙලාවේ මට ආව පණිවිඩවල තිබුණේ ‘අනේ සර් පුළුවන් ඉක්මණින් ගෙනත් දෙන්න’ කියලා. මට තිබුණේ එක ක්‍රමයයි. එතන මම බැලුවේ ඒකට යන මුදල නෙවෙයි. මොළේ තියෙන මිනිහෙක් ඒ වෙලාවේ බලන්නේ මුදලද කාලයද? නාරම්මලින් ටේක් ඕෆ් කරලා කොත්මලේට ගියා විනාඩි 20න්. ඒ කාලයට යන්න වෙන යානයක් නෑ. ඔය චෝදනා කරන අය මට මොකක් හරි වෙන යානයක් දුන්න නම් මම ඒකෙන් යනවා. ඒ නිසා මම පෞද්ගලික මුදලින් යානයක් අරගෙන ගියා. ඒකෙන් මම රජයට යම් මුදලක් ඉතුරු කළා.” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.
