දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන පොදු ව්‍යවහාරයේ බැලුන් ලෙස හඳුන්වන පරීක්ෂණ නළ නොමැති බව වාර්තා වී තිබෙනවා.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී හා අනතුරු සිදු කළ අවස්ථාවලදී ඔවුන් බීමත්ව සිටීදැයි රථවාහන නිලධාරීන් විසින් එම රියදුරා පොලිස් ස්ථානයවෙත රැගෙනවිත් එම අවස්ථාවේම පරීක්ෂා කිරීම මීට පෙර පැවතුණ සාමාන්‍ය ක්‍රමවේදයයි.
අදාළ පරීක්ෂාවෙන් පසු බීමත්ව සිටින බවට තහවුරු වුවහොත් එම බැලුම සීල්කර අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබනවා.
එහෙත් මේ වන විට දිවයින පුරා බොහෝ පොලිස් ස්ථානවල මෙම බැලුන් නොමැතිවීම නිසා බීමත් බවට සැකකරන රියැදුරන් රජයේ රෝහලක වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට සිදුව ඇති බවයි මේ වන විට වාර්තා වෙමින් පවතින්නේ. වෛද්‍ය වාර්තාව මගින් රුධිරයේ අඩංගු මද්‍යසාර ප්‍රමාණය සටහන් නොකර ගඳ වහනය වන බවට ඇතැම් විට වාර්තා ලබාදෙන බවත් එහිදී එම වාර්තා නීතිය හමුවේ අභියෝගයට ලක්විය හැකි බවත් උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් පවසා ඇත්තේ සපුගස්කන්ද පොලිස් වසම තුළ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී ඔහු බීමත්ව සිටියා ද යන්න එම අවස්ථාවේ පරීක්ෂා කිරීමට එම පොලිසියේ ද පරීක්ෂණ නළ නොතිබූ බවයි.
එම නිසා රන්වල මහතා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව ඔහු පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ සැපයුම් අංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමේදී මේ වනවිට ඇතැම් පොලිස් ස්ථානවල බීමත් රියැදුරන් පරීක්ෂා කරන නළ ඇති බවත් තවත් නළ තොගයක් අදාළ සැපයුම්කරු විසින් ආනයනය කර තිබෙන බවත් සඳහන් කළ බව ද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම නළ තොගය ඉදිරියේදී ලැබීමට නියමිත බවයි පොලිසියේ සැපයුම් අංශ සඳහන් කර ඇත්තේ.
