ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම ඇතුළු විභව බලශක්ති යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රුසියාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව රුසියාවේ Tass ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
වාර්තාව පෙන්වා දෙන ආකාරයට සපුගස්කන්ද පිරිපහදුවට රුසියානු තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිනි ෂෝබිනී ගුණසේකර මහත්මිය Tass වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී රුසියානු තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බව තහවුරු කර තිබෙනවා.
දේශගුණික විපර්යාස බලපෑම් හේතුවෙන් පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බවයි ඇය එහිදී පවසන්නේ. “ශ්‍රී ලංකාව රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දු වන අතර, අපි දැනටමත් මෙම සංවාදය ආරම්භ කර තියෙනවා.” එහෙත් “මෙය දැන්ම ප්‍රතිඵලයක් ලබා දෙයිද යන්න මට ඔබට පැවසිය නොහැකියි” යනුවෙන් ඇය පවසා තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ඇය පවසනවා.
රුසියානු තානාපතිනිය තහවුරු කර ඇති ආකාරයට තවමත් මේ සම්බන්ධයෙන් විධිමත් ගිවිසුමකට එළැඹී නැහැ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙම රුසියානු එළැඹුම භූ දේශපාලනයේ කොටසක් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කිහිපයක් පෙන්වා දෙනවා. මේ වන විට ඉන්දියාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් වැඩි දියුණු වෙමින් පවතින්නකි. විශේෂයෙන් ඉන්දියාව රුසියාවේ තෙල් ප්‍රභවයන් වෙත යොමු වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩෙන කෝපය මධ්‍යයේය. ඒ අනුව ඉන්දියාවේ මිත්‍ර රටක් වන ශ්‍රී ලංකාවත් ට්‍රම්ප්ව නොසලකා හරිමින් ඉන්දියාව ගමන් ගන්නා දෙසටම යාමට උත්සහ දැරීම මෙම රුසියානු සාකච්ඡා ඔස්සේ තහවුරු වන බව එම වාර්තා පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත්කර නැහැ.
