නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ දෙකක් වාර්තා වීමෙන් පසුව එම ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳ සැක මතු වී ඇති අතර මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසා තිබෙනවා.
නිර්වින්දනය අතරතුර අතුරු ආබාධ වැළැක්වීම සඳහා ඔන්ඩන්සෙට්‍රෝන් බහුලව ලබා දෙන බව ඔහු මාධ්‍ය වෙත සඳහන් කළා.
මෙම ඖෂධයේ මාත්‍රා මිලියන ගණනක් අප්‍රේල් මාසයේ සිට ආනයනය කර තිබෙනවා. එහෙත් නොවැම්බර් මාසය දක්වා කිසිදු අහිතකර ප්‍රතික්‍රියාවක් වාර්තා වී නොමැති බවයි ඔහු පවසන්නේ.
විජේමුණි මහතාට අනුව, ජයවර්ධනපුර රෝහලේ රෝගීන් පස් දෙනෙකු පසුගිය මාසයේ සුළු අතුරු ආබාධ වාර්තා කර තිබෙනවා. මෙම අවස්ථා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සමාලෝචනය කරනු ලැබූ අතර සුපරීක්ෂාකාරී වීමට ඔවුන් උපදෙස් ලබා දී තිබෙනවා. එහෙත් ඖෂධය දිගටම භාවිත කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, නොවැම්බර් 12 වන දින රෝගියෙකුගේ මරණයක් වාර්තා වීමෙන් පසු ඖෂධය පිළිබඳ සැකය තීව්‍ර වූ බවයි ඔහු පවසන්නේ. ඒ වන විට, මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු ඖෂධය පිළිබඳ රසායනාගාර පරීක්ෂණ පවත්වා අදාළ දත්ත නිකුත් කර තිබෙනවා.
නිශ්චිත කාණ්ඩයේ භාවිතය වහාම අත්හිටුවන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රට පුරා රෝහල්වලට උපදෙස් ලබා දුන්නේ එම දත්තවලට අනුව බවයි සඳහන් වන්නේ.
