රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය ආගමික නායකයින් සමඟ බද්ධව කටයුතු කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහාපණ්ඩිත කොටපිටියේ රාහුල අනුනාහිමියන් පෙන්වා දුන් අතර උන්වහන්සේගේ එම දේශනාව මේ වන විට සමාජ මාධ්‍යයන්හි ඔස්සේ ද ප්‍රචාරය වෙමින් පවතින්නකි.

පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, පානදුර කළුතර දෙතොටමුණේ ප්‍රධාන සංඝනායක විචිත්‍රභාණී රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන් දිවි මගෙහි වසර 60 සපිරීම සහ උන්වහන්සේ රටට දැයට සහ ශාසනයට කළ මෙහෙවර අගයමින් පැවති පුණ්‍යයෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කරමින් අනුනාහිමියෝ එසේ පවසා තිබෙනවා.

දේශපාලනඥයින් ලෙස සියලුම මතවාද මෙන්ම මහ සඟරුවනගේ මඟ පෙන්වීම් ද ඉවසිය යුතු බව පෙන්වා දෙන උන්වහන්සේ තමන් දේශනාව ආරම්භ කළ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙක් නැගිට යන්න ගිය බව ද ප්‍රකාශ කර සිටියා.

භික්ෂූන් වහන්සේලා හැටියට අපි මේ යථාර්ථය දකින්න ඕන. භික්ෂූන් වහන්සේලා හැටියට අපි කවදාවත් දේශපාලනය කරලා නැහැ. මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ තරම අපිට පසුගිය දිනවල තේරුම් ගන්න පුළුවන් වුණා. ව්‍යවසනය වෙලාවේ භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාරය උන්වහන්සේලා ඉටු කළා. භික්ෂූන් වහන්සේලා බෙදාගෙන තමන්ට ආවඩන භික්ෂූන් වහන්සේලා විතරයි හොඳ නියම භික්ෂූන් වහන්සේලා අනික් අය භික්ෂූන් වහන්සේලා නෙමෙයි කියල හිතනවා නම් ඒක මේ රටේ ඉතාම ශෝචනීය තත්ත්වයක්.

අපේ මහනායක හාමුදුරුවෝ වැඩ ඉන්නේ කොළඹ. අපේ සංඝ සභාව කෝට්ටේ සංඝසභාව. කෝට්ටේ රාජමහා විහාස්ථානය අග නගරයේ තියෙන පැරණිම පන්සල. අපේ මහනායක හාමුදුරුවෝ වැඩ ඉන්නේ ඊට කිට්ටුව පන්සලක රුක්මලේ. මට කොයි විදියට දොස් කියයිද දන්නේ නැහැ. මම ඒ ඕන දේකට ලෑස්තියි. අමතක කරන්න එපා අපේ කෝට්ටේ සංඝ සභාවේ පන්සල් නවසියයකට අධික ප්‍රමාණයක් තියෙනවා. අපේ මහනායක හාමුදුරුවෝ සියලු‍ දේශපාලනඥයන්ව ආශ්‍රය කළා. හැමෝටම අවවාද කළා. ආශිර්වාද කළා. මාදුළුවාවේ සෝහිත නාහිමියන්, බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් වැනි හාමුදුරුවන් වහන්සේලා සමග හැමදාම දේශපාලනයට උපදෙස් දුන්නා. කොහෙවත් දේශපාලනයක අපි හිර වෙලා නැහැ. මහනායක හාමුදුරුවන් පිළිබඳව පූර්ව නිගමනයක ඉන්නවද දන්නේ නැහැ. රාජ්‍ය පාලකයාට අද වෙනකන් අපේ මහනායක හාමුදුරුවන් මුණගැහෙන්න බැරි වුණා. ලෝකයෙන්ම එන දුත පිරිස්, රටේ විවිධ පිරිස් මහනායක හාමුදුරුවන්ව හමු වෙන්න එනවා.

මේ රටේ භික්ෂූන් වහන්සේලාව බෙදාගන්න එපා. අඩු වැඩි වශයෙන් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. භික්ෂූන් වහන්සේ මොනවා කීවත් ඒවා අහන් ඉඳීමේ පෞරුෂය දේශපාලනයන්ට තිබිය යුතුයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව ඉදිරියෙන් තියාගෙන වරක් මම කිව්වා. එතුමා අමාරුවෙන් වුණත් අහන් හිටියා. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ඉදිරියේ තියාගෙන දොස් කියලා තියෙනවා. කවදාවත් එතුමිය අපිට දොස් කියල නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට අපි දොස් කියල තියෙනවා. මේ වැඩේ කරන්න එපා කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔවුන් අදටත් උපදෙස් ගන්නවා. මෙතන අපි දන්න මන්ත්‍රීවරු ඉන්නවා. ඔබතුමන්ලා එක්ක අපි තරහ නැහැ. හැබැයි ඔබතුමන්ලා අපිව හම්බවෙන්න එන්නෙත් නැහැ. අපි ඔබතුමන්ලාට විරුද්ධ නෑනේ. ඔබතුමන්ලාට පෞද්ගලිකව විරුද්ධ නැහැ. ඔබතුමාලගේ පෞද්ගලික තොරතුරක් අපි දන්නේ නැහැ.

අපිට ඕන කරන්නේ බේද බින්න වෙන්න නෙමෙයි, සමගි වෙන්නයි. අපි හැමදාමත් කියන්නේ සමගිව වැඩ කරන්න කියයි. පානදුරට අද ඒ අවස්ථාව ලබාදීම ගැන පඤ්ඤාසේකර නායක හාමුදුරුවන්ට ස්තුතිවන්ත විය යුතුයි. සමාජයේ වැඩ කරන විට එක පිරිසක් විතරයි වටින්නේ, අනෙක් පිරිස වටින්නේ නැහැ කියල හිතන්න හොඳ නැහැ. විවිධ මතවාද දරන අය සමාජයේ ඉන්නවා. ඒ කිසි කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න එපා. හැමෝගෙන්ම වැඩ ගන්න ඕන. හැමෝටම කාර්ය පවරන්න ඕන.

අපේ පොතුපිටියේ පඤ්ඤාසේකර නායක හාමුදුරුවෝ කවුරුත් ඕනෑ, කා එක්කත් වැඩ කරන්න ඕනෑ කියන සංකල්පයෙන් වැඩ කරනවා. උන්වහන්සේට අපි ආශිර්වාද කරනවා යැයි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ මහානායක, සාහිත්‍යසූරී, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන්ගේ මූලාසනයෙන් පැවති මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිලන්ති කොට්ටහච්චි, චන්දිම හෙට්ටිආරච්චි, නාමල් රාජපක්ෂ, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

Latest News

More like this

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...

අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන...

තවත් රටවල් හතකට අමෙරිකාව තහනම්..

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් හතකින් විදේශිකයන්ට...