වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන් මාන් ෆාමසූටිකල් (Man Pharmaceuticals) නම් ආයතනය විසින් සපයන ලද ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron) නැමැති එන්නතේ සංකූලතාවන් පසුගිය සතියේ එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හේතුවුණා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසූ ආකාරයට මෙසේ භාවිතයෙන් ඉවත් කරනු ලැබුවේ 2021 වසරේ ඇණවුමකට අදාළව 2025 දී මෙරටට එවූ සාම්පල දෙකක සහ 2024 වසරේ ඇණවුමකට අදාළව 2025 දී ලබා දුන් තොගයක සාම්පල දෙකක් ආශ්‍රිතවය.
එහෙත් එන්නත ඉවත් කිරීමට පෙර ලක්ෂ ගණනක් මාත්‍රා රෝගීන්ට එන්නත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළා. අදාළ ඔන්ඩන්සෙට්රෝන් එන්නත් 270,000ක් මෙරටට ආනයනය කර ඇති බවත්, රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බව යි ඔහු සඳහන් කළේ.
ඔහු පවසන ආකාරයට ඒ වනවිටත් රෝගීන් දෙදෙනෙකු මිය ගොස් අවසානය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි මේ වන විට පවසා ඇති ආකාරයට මෙම ඖෂධය පිළිබඳ මුලින්ම සැක මතුවී තිබෙන්නේ පසුගිය මාසයේ ජයවර්ධන පුර රෝහලේ මෙම ඖෂයය භාවිත කළ රෝගීන් පස් දෙනෙක්ට අතුරු ආබාධ මතු වීමත් සමඟය.
මෙම අවස්ථා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සමාලෝචනය කරනු ලැබූ අතර සුපරීක්ෂාකාරී වීමට උපදෙස් ලබා දුන්නද ඖෂධය රෝහල්වල දිගින් දිගටම භාවිතකර තිබුණා. රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇත්තේ ඒ අනුවයි. නොවැම්බර් 12 වන දින රෝගියෙකුගේ මරණයක් වාර්තා වීමෙන් පසු ඖෂධය පිළිබඳ සැකය තීව්‍ර වී වෛද්‍යවරයෙකු ඖෂධය පිළිබඳ රසායනාගාර පරීක්ෂණ පවත්වා අදාළ දත්ත නිකුත් කර තිබෙන්නේ ඉන් පසුවයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධය තහනම් කර ඇත්තේ එම දත්තවලට අනුව බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ඇඟ හිරිවැටෙන කාරණය එය නොවේ. ඊයේ මෙම ඖෂධය ගැන සඳහන් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරුණු ලැබූ කරුණකි.
ඔහු පැවසූ ආකාරයට මෙරටට ගෙන්වන ඖෂධවලින් 85%ක් ඉන්දියාවෙන් ගෙන්වන අතර ඉතිරි ඖෂධ බංගලාදේශයෙන් ගෙන්වනු ලබයි. “අපේ NMR ලැබ් එකේ ඇති පහසුකම් අනුව එන හැම තොගයකම සාම්පල් පරීක්ෂා කරන අවස්ථාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඖෂධය භාවිතා කරමින් තිබියදී යම්කිසි සංකූලතාවයක් ඇතිවුණොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමයි දැනට NMRA පරීක්ෂණාගාරය තුළ සිදුවෙමින් පවතින්නේ.”
පසුගිය සෙනසුරාදා උදෑසන සිට මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන බවත් එන්නත ලබා දීමෙන් ඇති වූ සංකූලතා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරයේදී (Lab) පරීක්ෂා කරගෙන යන අතර අදාළ වාර්තාව නිකුත් වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.
අපට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අසන්නට ප්‍රශ්න කිහිපයක් ඇත.
අප භාවිත කරමින් සිටින්නේ කිසියම්ම තැනකදී සාම්පලයක් හෝ පරීක්ෂාවට ලක් නොකළ අනාරක්ෂිත ඖෂධ ද?
ඔබ ධුරය දරන වර්තමාන කාල සීමාවේ සෞඛ්‍ය පරිපාලනය සිදු වන්නේ කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පරිපාලනය යටතේ සිදු වූ ක්‍රමටයමද?
ප්‍රශ්ණ ගත ඖෂධය හතරෙන් තුනකටත් වඩා භාවිත කරන තෙක් ඇස් කන් වසාගෙන සිට මිනිසුන් මිය ගිය පසු ඔය සිදු කරන ආකාරයේ විමර්ශනයක් සිදු කිරීමට ද ඔබත් ඔය පුටුවට ආවේ..?
ඔබටත් අපව පෙනෙන්නේ රසායනගාරයක ගාල් කර පරීක්ෂාවට සූදානම් වී සිටින මීයන් ලෙසද?
