ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා සඳහන් කළේ ඊයේ (17) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් අතරතුරදීය.
මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ඔන්ඩැන්සෙට්‍රෝන් නමැති එන්නත ලබාදීම හේතුවෙන් කොළඹ රෝහලේ රෝගීන් දෙදෙනෙකු මිය යාම හා සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙන ඖෂධ කෙරෙහි සමාජය තුළ බියක් නිර්මාණය වීම මධ්‍යයේය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරු කර ගැනීමක් සිදුකර නොමැති බවයි සඳහන් කරනු ලැබුවේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් පරීක්ෂණ කණ්ඩමකින් යොදවා වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්ද පරීක්ෂණයක් සිදුකරන බවත් ඒ මහතා සඳහන් කර සිටියා. මියගිය රෝගීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබාගත් සාම්පල මේ වනවිට පරීක්ෂණ තත්ත්වයේ පවතින බව ද ඔහු පැවසුවා.
මෙහිදී මාධ්‍යවේදියකු මතුකළ විශේෂ කරුණ වූයේ මෙම ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමට රජය හෝ අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් සිදු වුණාද යන්නයි. ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසුවේ එම අවස්ථාවේදීය.
“ඇමතිවරු හෝ රජයන් මත නොවෙයි ඖෂධ ලංකාවට ආනයනය සිද්ධ වෙන්නේ. එය ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි.
අමාත්‍යංශයක් විදියට කාර්ය භාර්යයක් තියෙනවා. අවුරුද්දක් පාසා අවශ්‍ය වාර්ෂික සැපයුමට අදාළ ටෙන්ඩරය ප්‍රසම්පාදනය කිරීම සඳහා ඖෂධ සංස්ථාවට ලබාදීම. ඒ අනුව ඒ කාර්ය සිදුවෙනවා අදාළ ප්‍රසම්පාදන කමිටු කාර්ය අනුව.
2022 ටෙන්ඩරයක් ගියා, 2025 ටෙන්ඩරයක් ගියා. 2025 ටෙන්ඩරය එන්නේ 2024. 2025ට බෙහෙත් අවශ්‍ය නම් ඒ ටෙන්ඩර් එක දාන්නේ 2024. අඩුම තරමේ මාස 11ක විතර කාලයක් දැනට යනවා ඕඩර් එකක් දාලා ඖෂධ ටික රටට එන්න. ක්‍රමවේදය එහෙමයි.
ඕනේ ඕනේ වෙලාට කඩෙන් ගන්නවා වගේ ගන්න බෑ. ඒවා හදන්න ලෝකු කාලයක් යනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය භාරයක් විදියටයි යන්නේ. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි”.
එම ප්‍රකාශය ද මේ වන විට දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. ඒ ඖෂධ ගෙන්වීම සඳහා රජයේ හෝ අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් නොවන්නේ නම් ඉන්දියානු බාල බෙහෙත් ආනයනය කිරීම යන චෝදනාව එල්ල වූ පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ද වරදක් කර නොමැති බව පෙනෙන්නට තිබෙන නිසාය.
