රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය පැදවීමේ බලපත්‍රය තාවකාලිකව තහනම් කිරීමට මහර මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (19දා) පස්වරුවේ නියෝග කර තිබෙනවා.

පසුගිය 11 වැනිදා සපුගස්කන්ද දෙනිමුල්ල ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්කර කුඩා බිලිඳකු ඇතුළු තිදෙනකුට තුවාල සිදුකිරීමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබෙනවා.

සැකකරු ඊයේ (19දා) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට තිබුණේ නැති අතර කතා බහට ලක් වූ ඔහු බීමතින් සිටි බවට තහවුරු කර ගැනීමේ රස පරීක්ෂක වාර්තාව ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

රෝහල්ගතව සිටියදී ලබාගත් මුත්‍රා හා රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට ඇතත් මේ දක්වා වාර්තාව ලැබී නොමැති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ.

එමෙන්ම සේවාදායකයා මේ වනවිටත් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටි බව සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයාව ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයට ඉදිරිපත් කොට රිය පැදවීමට අදාළව යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

එකී රිය අනතුරෙන් පාදයකට හානි වී ඇති කාන්තාවට රුපියල් 50,000ක මුදලක් සහ තුවාල ලැබූ බිලිඳාට සහ ඔහුගේ මවට රුපියල් 25,000 බැගින් වූ මුදලක් මුල් අවස්ථාවේදීම ලබාදුන් බව සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

එකී රිය අනතුරකට පාදක වූ නඩු කටයුත්ත තවමත් තම අධිකරණය හමුවේ විභාග වන බැවින් වන්දි මුදලක් සම්බන්ධයෙන් නියෝගයක් දීමට තම අධිකරණයට නොහැකි නමුත් එකී සහනදායි මුදල ලබාගැනීමට පැමිණිලිකාර පාර්ශ්වය එකඟවන්නේ නම් තම අධිකරණය එයට මැදිහත් නොවන බවද මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදී පවසා තිබුණා. පාදයකට දැඩි ලෙස හානිවී ඇති කාන්තාවගේ සැමියා එහිදී අධිකරණයට දැනුම් දුන්නේ තමන් එම මුදල ලබාගැනීමට සූදානම් නොමැති බවයි.

සැකකාර මන්ත්‍රීවරයා තවමත් රෝහල් ගතව සිටීම පිළිබඳව කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම රිය අනතුරෙන් තුවාල ලැබුවේ පැමිණිලිකාර පාර්ශ්වයද නැතහොත් විත්තිකාර පාර්ශ්වය දැයි පොලිසියෙන් විමසා සිටියා.

පැමිණිලිකාර පාර්ශ්වයේ තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය එහිදී අධිකරණයට දැනුම් දුන් අතර එසේ නම් තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහල් ගතවී සිටින්නේ ඇයිදැයි මහෙස්ත්‍රාත්වරයා යළි පොලිසියෙන් වැඩිදුරටත් විමසනු ලැබුවා.

සිය සේවාදායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන බව මහෙස්ත්‍රාත්වරයා පොලිසියෙන් ඇසූ එම පැනයට පිළිතුරු දෙමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා තිබෙනවා. එම නඩුව ලබන ජනවාරි 16 වැනිදා යළි කැඳවීමට අධිකරණය දින නියම කෙරුණා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...