ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ අග අපේ රට මුහුණ දුන්නේ රටක් ලෙස මෙතෙක් සිදුවූ දරුණුම ස්වභාවික ව්‍යසනයටයි.
නින්දට ගිය අපේම මිනිසුන්ගෙන් සමහරුන්ට යළි හිරු එළිය දැකීමට තරම් වාසනාව අහිමි වුණු සංඛ්‍යාත්මක දත්ත දැනට තහවුරු කර ඇති ආකාරයට හත්සියයකට ආසන්න මිනිසුන් පණ පිටින් මහ පොළොව යට වැළලුණු, වතුරට ගසාගෙන ගිය ඒදිනට තවම මාසයක්වත් ගත වී නැත.
ඉතුරු වී කඳවුරුවල හුස්ම ගන්නා මිනිසුන්ගේ කම්මුල්වල තවමත් කඳුළු ගලාගිය පාරවල් වියළී නැත.
දරුවන් සිය ගණනකට යළි අම්මා හෝ තාත්තා කියා අඬගහන්නට කිසිවෙක් ඉතිරි වී නැත.
ගෙවල් දොරවල් තිබුණ තැනක්වත් හොයාගන්න බැරිවුණු මිනිසුන් ජනාධිපති සහෝදරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කළ ආකාරයට ලක්ෂ ගණනින් වන්දි ලැබෙනතුරු ඇඟිලි ගනිමින් සිටී
තහඩුවක් ගැලවී ගිය අයද ඒ අතර වේ.
ඒ මැද සතියක් දෙකක් ගත වන විට මැරිලා යළි ඉපදුණු ලෙස ව්‍යසනය සහමුලින්ම අමතක කර බාල් නටන ආණ්ඩුවක් සහ වගකීම් නිසි පරිදි කරට ගත නොහැකි වූ විපක්ෂය ව්‍යසනය පවා ආතල් එකකට ගනිමින් සිටී.
එසේ වුවත් එස්.එම් මරික්කාර් වැදගත් කරුණක් මතු කර තිබූ බව පැවසිය යුතුය. එනම් රටට සිදුවූ හානිය ජ්‍යාත්‍යන්තරයට පෙන්වීමට තවම ආණ්ඩුවට හැකි නොවූ බවයි. එහෙම ආණ්ඩුව පැත්තෙන් එවැනි නිල වීඩියෝවක් නිර්මාණය කළේ නැති වුණත් ජ්‍යාත්‍යන්තරය දකිනවා නම් ආණ්ඩුව දවස ගානේම හොඳ හොඳ දර්ශන සහ පුවත් මාධ්‍ය වෙත ලබා දෙයි. ඉතිහාසයේ රජයක් සිදු කළ කැතම වැඩේ මේ ආණ්ඩුව සිදු කළේය. ඒ ව්‍යසනයෙන් ජීවිත අහිමි වූ මිනිසුන්ගේ මරණ සහතිකය ලබා දීමට උත්සවයක් පැවැත්වීමයි.
දින 23කට පසු නැවත උඩරට මැණිකේ බදුල්ලේ සිට යළි අඹේවලට යාම ආරම්භ කිරීම අස්වැසිල්ලක් දැනෙන පුවතක් විය යුතුවුවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහගේ කාවඩි නැටුම එම අවස්ථාව පවා ජුගුප්සාජනක විකාරයක් බවට පත් කරතිබිණි.
ජීවිත හාදේපළ හානි වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ පළාතක එක රේල් පාරක් විවෘත කිරීමට ඩෙංකුටු ගසා දහ අට පාළිය නැටීම මොන තරම් හාස්‍යජනක ජවනිකාවක්ද?
මේ විසූක දස්සන ජ්‍යාත්‍යන්තරය දුටුවහොත් ඔවුන් අප පිළිබඳ ඇඳගන්නා චිත්‍රය කුමක් විය හැකිද? තමිල්නාඩුවේ විජයගේ හෝ රජිනිකාන්ත්ගේ චිත්‍රපටයක් රිලීස් වෙලායැයි වරදවා හිතාගනු ඇත.
දැන් ආණ්ඩුව ෂුවර් එකටම විදෙස් රටවල් හා සංචාරකයින් ආකර්ශනය කරගැනීමට සිදු කළ සංස්කෘතික මංගල්ලයක් යැයි නිර්වචන සපයනු ඇත. මළ ගෙදරක දුකට වැළපෙන මිනිසුන් ගොඩකට මොන කාවඩිද දෙයියනේ?
මරික්කාර් කිව්ව වගේ ජ්‍යාත්‍යන්තරයට පෙන්වීමට ඇතිදේ ඊට වඩා කොයි තරම් විශාලද? ව්‍යසනය රටක ආණ්ඩුව විසින් ආතල් එකක් කර ගැනීම තරම් ව්‍යසනයක් තවත් තිබිය නොහැකිය.
