නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බව විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොග රැගෙන එන බහුදින ධීවර යාත්‍රා හඳුනා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතු VMS දත්ත පද්ධතියට පිටස්තර පුද්ගලයන් ඇතුළු වී එහි තොරතුරු ලබාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ ආකාරයට පිටස්තර පුද්ගලයන් 57 දෙනකු මෙම දත්ත ඒකකය වෙත ඇතුළු වී තිබෙන බව හෙළිදරව් වී තිබෙනවා.

එමෙන්ම දූෂණ චෝදනා මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් පසුගියදා ඉවත් කළ දූෂිත නිලධාරීන් පිරිසක් එම අංශයේ අතිශය රහසිගත තොරතුරු රැසක් පරිගණක පද්ධතියෙන් මකා දමා ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මූලිකත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

මෙම කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් කෝටිපතියන් වී ඇති බවට ලැබී ඇති තොරතුරු මත එම කාර්යාංශයේ 400 කට අධික සියලුම නිලධාරීන්ගේ වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වී තිබෙන චෝදනා මත එම කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂකවරුන් 05 දෙනකුට දැනටමත් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී ඇති අතර විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමේ පරීක්‍ෂණ ද මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන නිලධාරීන් අතරින් 20 දෙනකුගේ වත්කම් වාර්තා මේ වනවිටත් ලැබී ඇති අතර, සෙසු සියලු නිලධාරීන්ගේ ද වත්කම් පරීක්‍ෂාව මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...