ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසා තිබෙනවා.

එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වු බව යි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඔහු මෙම සංචාරය සිදුකරන අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට ද නියමිතය.

‍’දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වෙනවා.

Latest News

error: Content is protected !!