හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයට ගිය අවස්ථාවේදී රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වීම පිළිබඳ නඩුවේ විමර්ශන අවසන් වූ පසු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනුකළ යුතු බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය ට අදාළව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධි චෝදනා ගොනු කළ යුතු බවට ඔහු යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් අතර පැවති ඉහළ මට්ටමේ රැස්වීමකදී අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සඳහන්ය.
රැස්වීමට සහභාගී වූ අය අතර නීතිපති පාරින්ද රණසිංහ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද සිටි බව වාර්තා වෙනවා.
ඔවුන් දැරූ තනතුරු සැලකිල්ලට ගනිමින් නඩු විභාගකිරීම සඳහා වෙනම විනිසුරු මඩුල්ලක් පත්කිරීම සුදුසු බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නිර්දේශ කර තිබෙනවා. එම දෙදෙනාම ඔවුන්ගේ නඩුවල සැකකරුවන් ලෙස නම් කළ අයයි.
මෙම සිදුවීම් දෙකෙහිම විමර්ශන අවසන් වූ පසු අදාළ උපුටා ගැනීම් තමා වෙත ඉදිරිපත් කළ පසු යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව නීතිපතිවරයා මෙහිදී දැනුම් දී තිබෙනවා.
වැලිගම W15 හෝටල් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දැන් බොහෝ දුරට අවසන් වී ඇති බැවින් දෙසැම්බර් 31 වැනිදාට පෙර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා විමර්ශනය අධීක්ෂණය කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුහාන් අබේවික්‍රමට උපදෙස් දී ඇති බව ද මෙම සාකච්ඡාවේදී සඳහන් වී තිබෙනවා.
මෙම රැස්වීමේදී හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ නඩුවේ විමර්ශනයේ ප්‍රගතිය ද සාකච්ඡා කර තිබුණා.
මීට පෙර, ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැය හතරකට වැඩි කාලයක සාකච්ඡාවක් පැවැත්වුණු බව ද වාර්තා වුණා.
නීතිපතිවරයාගේ පාර්ශවයෙන් එම රැස්වීම මෙහෙයවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරි පියසේන විසින් වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට සහකාර අධිකාරී එස්. වෙදමුල්ල, ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් සහ පොලිස් කොස්තාපල් බණ්ඩාර ඇතුළත් වී සිටියා.
වාර්තා වන පරිදි, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ හැසිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ඔහු අපරාධයක් කර තිබේද නැතහොත් ඔහුගේ ක්‍රියාවන් තුළින් අපරාධයකට ආධාර අනුබල දී තිබේද යන්න විමර්ශන මගින් තීරණය කර ඇත්ද යන්න මෙහිදී විශේෂයෙන් සලකා බලා ඇති බවද සඳහන්ය.
ජනවාරි 28 වැනිදාට පෙර ඒකනායක සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ වගකීම පියසේනට පවරා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නිරීක්ෂණ මත පදනම්ව ඒකනායක සැකකරුවකු ලෙස නම් කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගනු ඇති බව ද සඳහන්ය.
වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ලන්ඩනයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් පවත්වන ලද පරීක්ෂණයේ එම කොටසට අදාළ වාර්තා ලැබෙන තෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල්දැමීමට තීරණය කර තිබෙනවා.
