ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවය සහිතව සිදු නොකිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
අමාත්‍යවරයා පෙන්වා දුන් ආකාරයට ඇයගේ අවසන් කටයුතු සිදුවන්නේ පවුලේ අය සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඇති වූ එකඟතාව අනුවයි.
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සඳහා රාජ්‍ය ගෞරවය ලබා නොදීම මේ වන විට සංවාදයක් මතු කර තිබෙනවා.
අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් එම ප්‍රශ්නය මතු කරමින් හෙළ ගීත කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සඳහා රාජ්‍ය ගෞරවය ලබා නොදුන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියා.
එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් වැනි අසහාය කලාකරුවන්ට රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කළ බවත් ලතා වල්පොල වැනි කලාකාරිනියකට ද එම ගෞරවය හිමි විය යුතු බවයි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙවැනි තීරණ ගනු ලබන්නේ පවුලේ සාමාජිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සිදුකරන සාකච්ඡා මත පදනම්ව බවයි.
අදාළ විෂය භාර අමාත්‍යාංශය, ලතා වල්පොල මහත්මියගේ පවුලේ සාමාජිකයන් සහ ඇය සමඟ කටයුතු කළ කලාකරුවන් සමඟ සාකච්ඡා කර මෙම කටයුතු සංවිධානය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.
එම ක්‍රියාවලියේදී කිසිවෙකුට අසාධාරණයක් කිරීමට රජය බලාපොරොත්තු නොවන අතර ඒ සම්බන්ධයෙන් පවතින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අවධානය යොමු කරමින් එම තීරණ ගත් බවයි ඔහු සඳහන් කළේ.
අදාළ පාර්ශ්වයන් අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රජයට කළ දැනුම්දීම මත ලතා වල්පොල මහත්මියට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
