දිට්වා හානි අවම කර ගැනීමට අසමත් වූ බවට රජයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට…

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසිනි.

තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවත් පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඔහු සිය පෙත්සමෙහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවයි.

ආපදා තත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොල, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු මෙමගින් සඳහන් කර තිබෙනවා.

වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ විනාශය උත්සන්න වූ බවයි ඔහු සිය පෙත්සම මගින් චෝදනා කර ඇත්තේ. ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....