අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ මෙහෙයුමකින් පසුව පැහැරගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා හා ජනපති බිරිඳ සිලියා ෆ්ලෝරස් නිව්යෝර්ක් වෙත ගෙනවිත් තිබෙනවා.

ඔහු දැනට බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයේ මත්ද්‍රව්‍ය සහ ආයුධ නඩුවකට මුහුණ දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අමෙරිකාව මෙසේ වෙනිසියානු ජනාධිපති හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබුවේ එක්සත් ජනපදයට කොකේන් ටොන් ගණනක් ආනයනය කිරීම සහ නීති විරෝධී ආයුධ ළඟ තබා ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් යන චෝදනා එල්ල කරමිනි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ සමස්ත වෙනිසියුලාවේ පාලනය තාවකාලිකව අමෙරිකා එක්සත් ජනපදයට නතු වූ බවකි.

ඒ අනුව රටේ දැවැන්ත තෙල් සංචිත අමෙරිකාව විසින් අත්පත් කරගන්නා බව ඔහු පවසා තිබෙනවා.

මේ වනවිට වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් හට වැඩබලන ජනාධිපතිගේ බලතල සහ රාජකාරි භාර ගන්නා ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය පරිපාලනයේ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටිමින් එක්සත් ජනපදය සිය ජනාධිපතිවරයා පැහැරගත් (Kidnapping) බව ප්‍රකාශ කළා. ඔවුන් එහිදී අවධාරණය කර සිටියේ වහාම ජනාධිපතිවරයා සහ බිරිඳ නිදහස් කළ යුතු බවයි.

මේ අතර, වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝටද අමෙරිකාවේ සහයෝගය නොලැබෙන බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

මාධුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුමට අමෙරිකාව ඇය සම්බන්ධ කර නොගත් බව ඔහු පවසනවා.

රට පුරා සහ විදේශයන්හි වෙනිසියුලානු ජාතිකයන් මෙම තීරණය සඳහා ප්‍රීතිය පළ කර ඇති අතරම බිය හා කාංසාවටද පත්ව සිටින බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Latest News

error: Content is protected !!