පසුගිය දින කිහිපය තුළ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දරුවන් හා දෙමව්පියන් වෙනුවෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මිහින්තලේ රජ මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ චෝදනා කර තිබෙනවා.
මිහින්තලය නගරයේ පිහිටි ඓතිහාසික මිහින්තස්ලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් මතුව ඇති කරුණක් මුල්කර ගනිමින් උන්වහන්සේගේ රියැදුරුට ඊයේ (4දා) අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය ඉදිරියේ පෙනී සිටින ලෙස අනුරාධපුර පොලිසිය විසින් දැනුම් දී තිබුණා.
එම දැනුම් දීම අනුව රියැදුරු ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඉන් අනතුරුව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව නායක ස්වාමීන් වහන්සේ පවසනවා.
අදාළ ඉඩම සම්බන්ධයෙන් මුදල් ලබාගත් බවට යූටියුබ් නාලිකාකරුවකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසිය මෙම කැඳවීම සිදු කර ඇති බව ද උන්වහන්සේ කියා සිටියා.
“යූටියුබ්කරුවා ගෙන්වා අහන්න, කොහෙන්ද කූට ලේඛන හදලා තියෙන්නේ? කවුද කෝටි පහක් දුන්නේ? මොනවටද ඒ මුදල් වියදම් කරලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ලිඛිතව භාර දීලා තිබෙනවා. ඒ මුදල් යන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට. රජමහා විහාරයට අයත් ඉඩම් කඩම්, පඬුරුවලින් අපි ඒවා ඉදිරිපත් කරලා තියෙනවා. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්න ඕනේ මගේ රියැදුරාගෙන් නෙවෙයි, මගෙන්. මෙහි රියැදුරාගේ නමක්වත් නැහැ. හරියට පරීක්ෂා කර බැලුවේ නැතිව තමයි කැඳවලා තියෙන්නේ”
“මේ පුදබිම මගේ නෙමෙයි. මේවා ජාතික වස්තු. වරදක් කරලා තියෙනවා නම් මාව අත්අඩංගුවට ගන්න. කිසි ගැටලුවක් නැහැ. අද යූටියුබ්කරුවෝ කියන මතය අනුව තමයි පොලිසිය ක්‍රියා කරන්නේ” යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ පුද්ගලයකු විසින් අල්ලස් කොමිසමට ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව එහි විමර්ශන කටයුතු අනුරාධපුර පොලිසියට භාර දී ඇති අතර ඒ අනුව එම රියැදුරාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි.
