වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු එක්සත් ජනපදයේ ඊලඟ ඉලක්කය සම්බන්ධයෙන් කියුබාව, ග්‍රීන්ලන්තය සහ කොලොම්බියාව යන රටවල් තුනක් බිය පළ කර තිබෙනවා.
ඩෙන්මාර්ක අගමැතිනි මෙට් ෆ්‍රෙඩ්රික්සන් වහාම මැදිහත් වී ඩෙන්මාර්ක් අධිරාජ්‍යයට අයත් ග්‍රීන්ලන්තයට “තර්ජනය කිරීම” නවත්වන ලෙසයි ඉල්ලා ඇත්‍තේ.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාල සීමාව පුරා ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගැනීමට උත්සහ කරමින් සිටින්නේ එය එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට අත්‍යාවශ්‍ය බව ප්‍රකාශ කරමිනි.
විශේෂයෙන් ආක්‍ටික් ප්‍රදේශයේ එහි උපායමාර්ගික පිහිටීම අනුව අමෙරිකාවට බෙහෙවින් වැදගත් කලාපයකි.
ඩෙන්මාර්ක රාජධානියේ ජාතීන් තුනෙන් කිසිවක් ඈඳා ගැනීමට එක්සත් ජනපදයට අයිතියක් නොමැති බව ෆ්‍රෙඩ්රික්සන් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ එවැනි පසුබිමකය.
57,000 ක ජනගහණයක් වෙසෙන ග්‍රීන්ලන්තය 1979 සිට පුළුල් ස්වයං පාලනයක් පවතින රටකි. එහෙත් එහි ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය පවතින්නේ ඩෙන්මාර්කය යටතේය. අධි තාක්‍ෂණික අංශවල භාවිතා වන ප්‍රධාන තීරණාත්මක ඛනිජ වලින් ග්‍රීන්ලන්තය පොහොසත් වෙනවා.
“මම මෙය ඉතා පැහැදිලිව එක්සත් ජනපදයට පැවසිය යුතුයි. අමෙරිකාව ග්‍රීන්ලන්තය පාලනය කළ යුතු යැයි පැවසීම සම්පූර්ණයෙන්ම විකාරයක්. එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය ගැන කතා කිරීම කිසිසේත්ම තේරුමක් නැහැ… ඩෙන්මාර්ක රාජධානියේ ජාතීන් තුනෙන් කිසිවක් ඈඳා ගැනීමට එක්සත් ජනපදයට අයිතියක් නැහැ” ෆ්‍රෙඩ්රික්සන් ඉරිදා නිකුත් කළ ප්‍රකාශයේ එසේ සඳහන් වෙනවා.
මේ අතර ග්‍රීන්ලන්ත අගමැති යෙන්ස් ෆෙඩ්‍රික් නීල්සන්ද මේ වන විට අමෙරිකාව හා එහි පරිපාලනයට සම්බන්ධ විවිධ පාර්ශව ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දැකීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් පසුගිය දා වෛරල් වූ ධවල මන්දිර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ස්ටීවන් මිලර්ගේ බිරිඳ වන කේටි මිලර් විසින් සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද සටහනක් ඔහුගේ දැඩි විවේචනයට හේතු වුණා.
ඇය X හි එක්සත් ජනපදයේ ධජයේ වර්ණ සිතුවම් කරනු ලැබූ ග්‍රීන්ලන්තයේ සිතියමක් බෙදා ගනිමින් ‘ඉක්මනින්’ යන සටහනක් බෙදා ගෙන තිබුණා. එම සටහන මේ වන විට මතභේදයට හා රාජ්‍ය තාන්ත්‍රික ගැටුම්වලට ද තුඩු දී තිබෙනවා.
