ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා පසුව ප්‍රශ්න ඇසිය යුතු බව ඩෙන්මාර්ක් ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.

මෙය 1952 සිට ඩෙන්මාර්කයේ ක්‍රියාත්මක වන හමුදා මැදිහත්වීමේ රීතියක් ලෙස සැලකෙනවා.

එම රීතියට අනුව සොල්දාදුවන් ඉහළ නිලධාරීන්ගේ නියෝග එනතෙක් බලා නොසිට ආක්‍රමණිකයන්ට පහර දිය යුතුය.

අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම රීතිය තවමත් බලාත්මකව පවතින්නකි.

ඩෙන්මාර්ක් ආරක්ෂක අමාත්‍යාංශය මෙම නියෝගය නිකුත් කරන්නේ නේටෝ භූමියක් වන ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම පිළිබඳ අමෙරිකාව දරන උත්සාහයන් තීව්‍ර වීම මධ්‍යයේය.

ආක්ටික් දූපත අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපදය “හමුදා බලය” සලකා බලන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ එවැනි උත්සාහයකදී ඩෙන්මාර්කයේ පළමු පියවර නිවේදනය කර ඇත්තේ ඒ අනුවය.

රාජ්‍ය ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අමෙරිකාවට අත්‍යවශ්‍යය වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් අවධාරණය කරනු ලැබූවකි.

මේ සම්බන්ධයෙන් බිය වර්ධනය වූයේ ඉකුත් සතියේ අමෙරිකානු හමුදා විසින් ග්‍රීන්ලන්තය මෙන්ම අමෙරිකාවට අවශ්‍යව තිබූ වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මදුරෝ පැහැර ගැනීමත් සමඟයි.

වෙනිසියුලාවේ තෙල් සම්පත මෙන්ම ආක්ටික් දූපතක් වන ග්‍රීන්ලන්තය ද උපායමාර්ගික වශයෙන් හා ඛනිජ සම්පත හේතුවෙන් අමෙරිකාවට බෙහෙවින්ම වැදගත් වන කලාපයකි.

එසේ නමුත් මේ වන විට ඩෙන්මාර්කය සමඟ සාකච්ඡා කිරීම සඳහා වන අමෙරිකාවේ ඉල්ලීමකට ඩෙන්මාර්කය එකඟතාවය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡා ලබන සතියේ පැවැත්වීමට නියමිත බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිවිටක ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් හමුදා මැදිහත්වීමක් සිදු නොකරනු ඇති බවයි ඔහු පවසන්නේ. ඔහුට අවශ්‍ය ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට පමණක් බව මාර්කෝ රූබියෝ පවසා ඇති බව වැඩි දුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

error: Content is protected !!