ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ රට පුරා නොසන්සුන් තත්ත්වය තවදුරටත් තීව්‍ර කරමිනි.
මෙය වසර ගණනාවකට පසු එරට පාලන තන්ත්‍රයට එල්ල වූ විශාලතම අභියෝගය බවට මේ වන විට පත්ව තිබෙනවා.
මෙතෙක් රට පුරා පැවති විශාලතම විරෝධතා රාත්‍රිය සනිටුහන් කරමින් බ්‍රහස්පතින්දා (08) ඉරානය බාහිර ලෝකය සමඟ මුළුමනින්ම පාහේ විසන්ධි වී තිබුණා.
ඒ බලධාරින් විසින් අන්තර්ජාල ප්‍රවේශය හා දුරකථන මාර්ග අවහිර කිරීමත් සමඟයි.
වාර්තාවල සඳහන් වන ආකාරයට විරෝධතා ආරම්භ වූ දා සිට මේ වන විට 200කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි සඳහන් ය.
මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත්තේ ආරක්ෂක හමුදා බලහත්කාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් ඉරානයට පහර දෙන බවයි.
විරෝධතා මධ්‍යයේ එරට රාජ්‍ය රූපවාහිනියෙන් ජාතිය ඇමතූ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විරෝධතා සෘජුවම අමෙරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක් බවට චෝදනා කළා.
ඔහු ට්‍රම්ප්ගෙන් “තමන්ගේම රට කෙරෙහි අවධානය යොමු කරන ලෙස”යි එහිදී ඉල්ලා සිටියේ.
විරෝධතාවල සැබෑ ආරම්භය කුමක්ද?
උද්ධමනය ඉහළ යාම සම්බන්ධයෙන් ටෙහෙරානයේ වෙළෙඳ ප්‍රජාව අතර පැවති විරෝධතා පසුව රට පුරා ව්‍යාප්ත වී පාලන තන්ත්‍රයට එරෙහි වඩාත් පොදු විරෝධතා බවට පරිවර්තනය වුණා.
විරෝධතා ඉරාකයට මායිම්ව පිහිටි කුර්දි බහුතරයක් වෙසෙන කලාපයක් වන ඉලාම් සහ ලොරෙස්ටාන් දක්වා බටහිර දෙසින් ඉරාන පළාත්වලටද පැතිර ගොස් තිබුණා. එම පළාත් දෙකම නොසන්සුන්කාරී ස්ථාන ලෙස මතු වූ අතර වාර්ගික බෙදීම් සහ දරිද්‍රතාවයෙන් බැට කන ජනතාව වීදිවලට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණා. ඔවුන් “කමෙයිනිට මරණය” යන සටන් පාඨ කියමින් ආගමික හා රාජ්‍ය කටයුතු කෙරෙහි අවසාන අධිකාරිය දරන කමේනිට සෘජුවම අභියෝග කළ බවයි වාර්තා වුණේ.
මෙවර විරෝධතා වෙනස් වන්නේ කෙසේද?
මෑත කාලීන විරෝධතා ආරම්භ වූයේ ඉරාන ඉතිහාසයේ බලගතු බලවේගයක් වන සහ පාලන තන්ත්‍රයට පක්ෂපාතී ලෙස සැලකෙන බසාරිවරුන් නොහොත් එරට වෙළඳ පැලැන්තියේ මැදිහත්වීමෙන් වීම විශේෂත්වයයි.
ඉරානයේ බසාරිවරුන් සහ පූජක පක්ෂය අතර දිගුකාලීන සන්ධානයක් පවතී. ඉරානයේ ඉතිහාසය පුරා එරට රජවරු අධ්‍යාත්මක නායකයින් බිහි කිරීමේහි ලා ව්‍යාපාරික හිමියන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. 1979 ඉස්ලාමීය විප්ලවය සාර්ථක කර ගැනීමට අවසානයේ පූජක පක්ෂයට උපකාරී වුණේ එම සන්ධානය බවයි පැවසෙන්නේ.
ඔවුන් දැක්වූ සහයෝගය නිසා කැරලිකරුවන්ට ෂා හෙවත් රජුගේ වැටීමට හේතු වූ මූල්‍යමය රැකවරණය ලබා දුන් බව පැවසෙනවා.
මේ අනුව ඉරාන ඉතිහාසයේ වසර 100 කට වැඩි කාලයක් තිස්සේ සියලුම ප්‍රධාන දේශපාලන ව්‍යාපාරවල ප්‍රධානම නළුවන් වූයේ බසාරිවරුන් ය.
ඔවුන් ඉරාන රජයට වඩාත්ම පක්ෂපාතී අය ලෙස සැලකෙන අතර මෙවර ඉරානයේ වීදි මූලික අරගලයක් වෙනුවට වෙළෙඳ පොළ මූලික අරගලයක් හට ගැනීම බල අධිකාරියට එල්ලවන විශාලම පීඩනය බවට පත්ව තිබෙනවා.
විචාරකයන් පෙන්වා දෙන ආකාරයට ඉරාන පද්ධතිය කිසිවිටක පිටතින් බිඳ වැටීමේ හැකියාවක් නැති අතර එය බිඳවැටීමේ යතුර ඇත්තේ ඇතුළතින්ම පමණි.
