මේවන විට ආන්දෝලනයකට තුඩු දී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අදහස් පළ කරමින් කවුරු විරුද්ධ වුව ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ආපසු හැරවීමට කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
දීර්ඝ කාලයක් තිස්සේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි වන අතර දෙමව්පියන්ට බරක් දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ආපදා ව්‍යසනයෙන් හානියට පත්වූ නිවාස සඳහා වන්දි ප්‍රදානයත් නිවාස ඉදිකිරීම ඇරඹීමත් සිදු කරමින් ගල්නෑව හා රාජාංගණය ප්‍රදේශවල පැවැති වැඩසටහන්වල සමාරම්භක අවස්ථාවන්ට එක්වෙමින් ඊයේ (09) ඔහු මේ බව කියා සිටියා.
විශේෂයෙන් අධ්‍යාපනය වෙනස සඳහා ගන්නා උත්සාහයට මේ වන විට ලැබෙන විවේචන කිසිදු පදනමකින් තොර අසත්‍ය අවලාද ලෙස බැහැර කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර තිබෙනවා.
“දීර්ඝ කාලයක් අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අපි කවුරුත් සෑහීමකට පත්වන්නේ නැහැ. මෙය දෙමව්පියන්ට බරක් සහ දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමයක්. අධ්‍යාපන ක්‍රමය සාර්ථකයි නම් අපිට මීට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්න තිබුණා. අධ්‍යාපනඥයන් විසින් කාලාන්තරයක් තිස්සේ මේ අධ්‍යාපන ක්‍රමයේ නව වෙනසක් පිළිබඳ සාකච්ඡා කළා. අපි ඒ අලුත් වෙනසට අත තබා තිබෙනවා. හැබැයි ඊට විවිධ අවලාද, අසත්‍ය පතුරවමින් කිසිදු පදනමක් නැති කරුණු කියන්න පටන්ගෙන තිබෙනවා. අපේ අභිප්‍රාය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ වගේම දුප්පත්කමේ විෂම චක්‍රයෙන් ගොඩ ඒමට තිබෙන මාවත දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ නිසා ජාත්‍යන්තරව පිළිගත් ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබාදිය යුතුයි. කවුරු මොන විදියට එම වෙනස්කම් හැකිළීමට උත්සාහ ගත්තද අපි ඒ වෙනස්කම් ඇති කරනවා.”
2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර තිබෙනවා.
