ඉරානයේ ඔටුන්න හිමි රේසා පහ්ලාවි යළි පැමිණීමට සූදානම්.. රට පුරා නගර අල්ලා ගන්නැයි විරෝධතාකරුවන්ට කියයි

ඉරානයේ නගරවල මර්මස්ථාන අත්පත් කර ගැනීමට සූදානම් වන ලෙස නෙරපා හරිනු ලැබූ ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලාවි විරෝධතාකරුවන් වෙත පවසා තිබෙනවා.

රේසා පහ්ලාවි යනු එරටින් නෙරපනු ලැබූ අවසාන ෂා රජු වන මොහොම්මද් රේසා පහ්ලාවිගේ වැඩිමල් පුත්‍රයාය.

ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අතර එහි සිට විරෝධතා මෙහෙයවන බව සඳහන් වෙනවා.

රේසා පහ්ලාවි ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දිගින් දිගටම ජනතාව ටෙහෙරානය වෙත මෙහෙය වූ අතර සෙනසුරාදා ද එවැනිම සමාජ මාධ්‍ය පණිවිඩ ඔස්සේ විරෝධතාකරුවන් දිරි ගන්වා තිබෙනවා.

ඉක්කය තවදුරටත් වීදිවලට පැමිණීමට සීමා නොවිය යුතු බවයි ඔහු එම පණිවිඩ ඔස්සේ සඳහන් කර ඇත්තේ.

ඊළඟ ඉලක්කය නගර මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම හා ඒවා අල්ලා ගැනීමට සූදානම් වීමයි.

කෙසේ වෙතත් ඉරාන අධ්‍යාත්මික නායකයා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් විරෝධතා මැඩලීමට සම්පූර්ණ බලය යොදවන බවයි සඳහන් කළේ.

ඇතැම් මූලාශ්‍රයන් වාර්තා කර ඇති ආකාරයට රජයේ හමුදා ප්‍රහාරවල දී සිය ගණනින් මිනිසුන් මිය ගොස් ඇති බව සඳහන්ය.

මේ අතර විරෝධතාකරුවන් ඝාතනය වුවහොත් එක්සත් ජනපදයෙන් ද ප්‍රහාර සිදු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

Latest News