මෙරට පවතින වත්මන් නීති පද්ධතිය තුළ දික්කාසාදය ලබා ගැනීම සංකීර්ණ හා දීර්ඝ කාලයක් ගත වෙන බැරෑරුම් ක්‍රියාවලියකි.
එය අවශ්‍ය කරන පාර්ශවයන් මත දැඩි පීඩනයක් එල්ල කරනු ලබන අතර දික්කසාද නීති වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය වීමේ අවශ්‍යතාවයක් පවතී.
එම කරුණු සැලකිල්ලට ගනිමින් දික්කසාද නීතිය සහ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ (MMDA) මූලික සංශෝධන කිහිපයක් සිදු කිරීම සඳහා ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව වාර්තා වී තිබෙනවා.
මෙම නව යෝජනා යටතට වරදක් නොමැති (No Fault Divorce) නම් නව යෝජනාවක් ඇතුළත්ය.
මේ පිළිබඳ Sunday Observer පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ෆයිසර් මෙසේ සඳහන් කර තිබෙනවා.
“දික්කසාදය පාලනය කරන වත්මන් නීති යටතේ, දික්කසාදයක් ලබා ගැනීම සඳහා ඔබ වරදක් ඔප්පු කළ යුතුය. විවාහයෙන් පසු කාමමිථ්‍යාචාරය, ද්වේෂසහගත ලෙස අතහැර යාම සහ සුව කළ නොහැකි ලිංගික බෙලහීනත්වය ඔප්පු කළ යුතුය.
මෙම නීතිය රෝම-ලන්දේසි මූලධර්ම මත පදනම් වී ඇති අතර, එහිදී ස්වාමිපුරුෂයා සැබවින්ම බිරිඳගේ දේපළ වන අතර බිරිඳ සැමියාගේ දේපළ වෙනවා.
කෙසේ වෙතත්, අද ලෝකය බොහෝ ප්‍රගතිශීලී ය. ආපසු හැරවිය නොහැකි ලෙස පැහැදිලිවම බිඳ වැටී ඇති විවාහයන් අපට දැකගත හැකියි. ඔවුන් අධිකරණයට ගොස් වරද තහවුරු කළ යුතු බැවින් නීත්‍යානුකූලව විවාහයේම සිටීමට ඔවුන්ට බල කෙරෙනවා. එක් පාර්ශ්වයක් වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කළහොත්, ක්‍රියාවලිය ඊටත් වඩා දුෂ්කරයි.
වරදක් නැති දික්කසාද යාන්ත්‍රණයක් යෝජනා කරන්නේ මෙම තත්ත්වයට විකප්ලයක් ලෙස බවයි ඔහු මෙහිදී සඳහන් කරන්නේ. මෙය දෙපාර්ශවයටම අධිකරණයට යාමට ඉඩ සලසන අතර සමථයකට පත් කළ නොහැකි තත්ත්වයක ඔවුන්ට තවදුරටත් එකට ජීවත් විය නොහැකි බව සරලව කියා වෙන්වීම ලබාගත හැකි ක්‍රමවේදයකි. එම පදනම මත ඔවුන්ට දික්කසාදයක් ලබා දිය යුතුය.
එමෙන්ම ඔහුගේ මෙම නව යෝජනා තුළ දික්කසාදය, දරුවන්ගේ නීත්‍යානුකූල භාරකාරිත්වය ස්ථිර නඩත්තු ගෙවීම හෝ වන්දි යන දේවල් විවාහයෙන් ඉවත්වීම යන කාරණයෙන් පැහැදිලිව වෙන් කළ යුතු ආකාරය ද ඔහු පෙන්වා දී තිබෙනවා.
පළමුව ඔබට වරදක් නොමැති පදනම මත දික්කසාදය ලබා ගත හැකිය. පසුව, අවශ්‍ය නම්, භාරකාරත්වය, නඩත්තු හෝ වන්දි තීරණය කිරීමේ අරමුණු සඳහා ඔබට වරදක් ස්ථාපිත කළ හැකිය.
අද, දික්කසාදයක් අභියෝගයට ලක් වුවහොත් එයට වසර හයක් හෝ හතක් ගත විය හැකිය. ඒ සඳහා ජීවිතය ඉතා කෙටි ය. එබැවින් වසර ගණනාවක් වෙන්ව ජීවත් වන නමුත් දිගු ක්‍රියාවලිය නිසා තවමත් නීත්‍යානුකූලව විවාහ වූ තැනැත්තන් ඕනෑ තරම් සිටී.
මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් ද දැඩි ස්ථාවරයක සිටින මුස්තාෆා එහි පවතින අඩුපාඩු කිහිපයක් සංශෝධනය කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.
විවාහ වීමේ වයස මුස්ලිම් කාන්තාවකගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවිය යුතු බවයි ඔහු යෝජනා කර ඇත්තේ.
මුස්ලිම් කාන්තාවකට තම විවාහ සහතිකයට අත්සන් තැබීමේ අයිතිය ලබා දිය යුතුය (දැනට මෙය බොහෝ විට සිදු කරන්නේ පියා හෝ භාරකරු විසිනි).
කාති උසාවිවල විනිසුරුවන් නීතිඥවරුන් විය යුතු අතර, එම තනතුරු සඳහා කාන්තාවන්ට ද ඉල්ලුම් කිරීමට අවස්ථාව තිබිය යුතුය.
මුස්ලිම් කාන්තාවන්ගේ නඩත්තු නඩු විමසීමේ බලය කාති උසාවිවලින් ඉවත් කර මහේස්ත්‍රාත් උසාවි වෙත පැවරිය යුතුය.
තවද, උතුරු පළාතේ කාන්තාවන්ට දේපළ අයිතිය සම්බන්ධයෙන් පවතින තේසවලාමේ නීතියේ යම් යම් සීමාවන් ද වත්මන් සමාජයට ගැළපෙන පරිදි වෙනස් විය යුතු බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.
මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරි මාසය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
