බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි විජයගේ අවසාන චිත්‍රපටය වන ජන නායගන් චිත්‍රපටය ජනවාරි 9 වන දින නියමිත පරිදි තිරගත නොවූ අතර නිල වශයෙන් එය නිකුත් කිරීම නිෂ්පාදක කණ්ඩායම මඟින් කල් දමනු ලැබීය.
ඒ U/A 16+ වාරණ සහතිකයක් වහාම ලබා දෙන ලෙස මදුරාසි මහාධිකරණය මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයට (CBFC) නියෝගයක් නිකුත් කර තිබියදීය.
මදුරාසි මහාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලය චිත්‍රපටය නිකුත් කිරීම ප්‍රමාද කිරීමත් සමඟයි.
ඒ සහතිකය නිකුත් නොකිරීමෙන් පසු, චිත්‍රපටයේ නිෂ්පාදකයින් වන KVN Productions LLP විසින් නීතිමය අභියෝගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුවය.
මහාධිකරණය U/A සහතිකයක් නිකුත්කරන ලෙස CBFC වෙත නියෝග කළ ද තත්ත්වය තවමත් විසඳී නොමැති බවයි වාර්තා වන්නේ. ඒ සමඟ මංගල දර්ශනයට දින දෙකකට පෙර චිත්‍රපටය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවුණා.
මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයේ සමාලෝචන ක්‍රියාවලියේදී චිත්‍රපටය සහතික කිරීමට බහුවිධ විරෝධතා මතුවීම මෙම තත්ත්වයට හේතු වූ බවයි පැවසෙන්නේ.
සහතික කිරීමේ මණ්ඩලයේ සාමාජිකයින් මුලින් චිත්‍රපටයේ ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කණස්සල්ල පළ කළ අතර, ඇතැම් දර්ශන මහජන නැරඹීම සඳහා සුදුසු නොවන බවයි නිර්දේශ කර තිබුණේ.
මෙම නිරීක්ෂණ මත පදනම්ව, නිෂ්පාදකයින්ගෙන් කප්පාදු කිහිපයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි අතර, ඔවුන් ඊට අනුකූල වූ බව වාර්තා වුණා.
කෙසේ වෙතත්, අවසාන මොහොතේ සාමාජිකයෙකු අමතර ප්‍රශ්නයක් මතු කළ බව සඳහන්ය. ප්‍රධාන විරෝධතාවයක් වූයේ ඇතැම් දර්ශනවල ආරක්ෂක ලාංඡනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වන අතර ඒ සඳහා පැහැදිලි කිරීමක් සහ නිල අවසරයක් අවශ්‍ය බව පවසා තිබෙනවා.
මණ්ඩල සාමාජිකයෙකු වාර්ගික දර්ශන කිහිපයක් පිළිබඳව ද කණස්සල්ල පළ කළ අතර, ඒවා සංවේදී විය හැකි බවත් වැරදි අර්ථකථන වළක්වා ගැනීම සඳහා වෙනස් කිරීම් අවශ්‍ය විය හැකි බවත් යෝජනා කළ බවයි වාර්තා වන්නේ.
සහතිකය ලබා දීමේ ප්‍රමාදයට මෙම විරෝධතා දායක වී ඇති බව පැවසෙනවා.
කප්පාදුවලින් පසුව නිෂ්පාදකයින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව, 2025 දෙසැම්බර් 22 වන දින චිත්‍රපටයට U/A සහතිකයක් ලැබෙන බව නිෂ්පාදකයින්ට දන්වන ලැබුවත් නව විරෝධතා මතුවීමත් සමඟ, විශේෂඥ අදහස් සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සිදු කරන තෙක් අවසාන සහතිකය ලබා දීම අත් හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.
