රනිල්‍ට එරෙහි නඩුව යට ගැසීමේ කුමන්ත්‍රණයක්

එක්සත් රාජධානියේ කළ පෞද්ගලික සංචාරයකදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් නිර්මාණය වී ඇති බව Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

අදාළ පුවත අනුව හිටපු ජනාධිපතිවරයාට අධිචෝදනා ගොනු කිරීම වැළැක්වීමේ යම් කුමන්ත්‍රණයක් නීතිපති දෙපාර්තමේන්තුව තුළ පවතී ද යන ප්‍රබල සැකයක් නිර්මාණය වෙමින් පවතින බවයි මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් පුවත්පතකින් මෙම පුවත මතුවීම එම සැකය තීව්‍ර කර තිබෙනවා.

අදාළ පුවත්පත් වාර්තාවට අනුව නීතිපති දෙපාර්තමේන්තුව තුළ පවතින මත දෙකෙන් එකක් වන්නේ අධි චෝදනා ගොනු කිරීමට තරම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පදනම් කරගත් සාක්ෂි ප්‍රමාණවත් නොවන බවකි.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශනය අධීක්ෂණය කරමින් සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා, විමර්ශනය සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් මෙම වගකීම්වලින් ඉවත් වී ඇති බව Sunday Times වාර්තාවේ සඳහන් ය.

පුවත් වාර්තාවට අනුව නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් විමර්ශනය භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙරේරාගේ මතය වී ඇත්තේ මෙම නඩුව සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් හෙළි වී නොමැති බවයි.

වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති ප්‍රධාන අපරාධ චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති අවස්ථාවක, එම අපරාධයට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් ඒකනායක මහතාට චෝදනා එල්ල කිරීමේ හැකියාවක් නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

පවතින සාක්ෂි සහ විමර්ශන උපුටා ගැනීම් මත පදනම්ව වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැක්කේ මන්දැයි පැහැදිලි කරමින් පිටු හයක වාර්තාවක් මේ වන විට එම පාර්ශවයෙන් නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත්තේ ද ඒ අනුවයි.

කෙසේ වෙතත් මේ වන විට විමර්ශනයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වසන්ත පෙරේරාගේ මතයට පටහැනි මතයක් ඉදිරිපත් කර ඇති අතර, පවතින සාක්ෂි මත පදනම්ව වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බව නීතිපතිවරයාට දන්වා යවා තිබෙනවා. විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශකයින් ද පීරිස් මහතාගේ මතයට සහාය දක්වා ඇති බව පැවසෙනවා.

එහෙත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා වෙත යොමු කළ ලිපියට මේතාක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වන්නේ.

නීතිපතිවරයා විසින් මෙම ලිපිගොනුව කනිෂ්ඨ නීතිඥවරයෙකු වෙත යොමු කර ඇත්තේ නඩු පැවරීම වැළැක්වීමට අදාළ තාක්ෂණික කරුණු සොයා ගැනීමට බවටද කරුණු වාර්තා වෙමින් පවතී.

විශේෂයෙන්ම Sunday Times පුවත්පත මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්‍තේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම මේ මස 28 වැනිදාට යෙදී ඇති පසුබිමකය.

ඒ අනුව අදාළ පුවත නඩුව ඉල්ලා අස්කර ගැනීමේ හෝ යටපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තුළ මේ වන විට කුමන්ත්‍රණයක් සඳහා වන මහජන මතය සකස් කිරීමක් විය හැකි බවටයි මත පළ වෙමින් තිබෙන්නේ.

Latest News

error: Content is protected !!