කොළඹ ද ඇතුළුව පළාත් පාලන ආයතනවල අමුතු බදු ගැහිල්ලක්….

ඇතැම් පළාත් පාලන ආයතන තම බලප්‍රදේශවල වරිපනම් බදු ඇතුළු හා විවිධ බදු රිසි ලෙස හිතුමතේ වැඩි කිරීම නිසා මහ ජනතාව පීඩාවට පත් වූ සිදුවීම් කිහිපයක් අනාවරණය වී තිබෙනවා.

ඉකුත්දා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් සිදු කළ එවැනි අත්තනෝමතික බද්දකට එරෙහිව විශාල මහජන විරෝධයක් ඇති වූ බවයි වාර්තා වුණේ.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් වසරකට රුපියල් 2400 ක කසළ බද්දක් අයකිරීමට තීරණය කිරීම එම විරෝධයට මුල් වී තිබුණා. එහිදී එම මුදල එකවර ගෙවන අයට ප්‍රමුඛතාව දී ඔවුන්ගේ කසළ එකතු කිරීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වුණා.

ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යෑමට මෙලෙස මහජනතාවගේ මුදල් අයකර ගැනීම ඉතාම අසාධාරණ බව පවසන ඔවුහු ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව සඳහන් කර සිටියා.

බස්නාහිර පළාතේ ද ඇතැම් පළාත් පාලන ආයතන මේ ආකාරයෙන් ක්‍රියාකරමින් සිටින බවටද චෝදනා එල්ල වෙනවා.

ඇතැම් පළාත් පාලන ආයතනවලට වරිපනම් ගෙවීම් සිදුකළත් කසළ රැගෙන යෑමට පැමිණෙන ට්‍රැක්ටර් හෝ කරත්තවල සේවකයන්ට සන්තෝසම් ද ලබාදීමට සිදුවීමෙන් මහජනතාව තවත් දුෂ්කරතාවකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ ආකාරයෙන් මුදල් අය කළ ද ඇතැම් පළාත් පාලන ආයතන නිසියාකාරව කසළ රැගෙන යෑම හෝ පළාත් පාලන ආයතනයකින් ලබාදිය යුතු අනෙකුත් සේවාවන් හෝ නිසිලෙස ලබානොදෙන බවට ද චෝදනා එල්ල වෙනවා.

මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානියකුගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉහළින් ලැබුණු නියෝග අනුව මෙය සිදුකිරීමට සිදුව ඇති බවය.

මේ අතර ඇතැම් පළාත් පාලන ආයතනවල නිවාස සැලසුම් අනුමත කමිටු (ප්ලෑන් කමිටු) ගෙවීම් රුපියල් 2000 ලෙස පැවතියත් එය රුපියල් 3000 දක්වා දීමටද අනුමත කරගෙන තිබෙන බවටද වාර්තා වෙනවා.

මාසයකට ප්ලෑනින් කමිටු 08ක් පවතින බවත් නගරාධිපති දීමනා රුපියල් 30000 ක් ලෙස පවතින අතර ඊට අමතරව මාසයකට සැලසුම් කමිටු 08 මගින් තවත් රුපියල් 24,000ක් එකතු වෙන බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!