ඉරානයේ ඉස්ලාමීය රජයට එරෙහිව මේ වන විට පැන නැඟී ඇති විරෝධතාවලදී ඇති වූ ගැටුම්වලදී පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව අයිතිවාසිකම් කණ්ඩායමක් ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානය තුළ සහ ඉන් පිටත ක්‍රියාකාරීන්ගෙන් ලබාගත් නවතම සංඛ්‍යාලේඛනවලට අනුව විරෝධතාකරුවන් 490 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් 48 දෙනෙකුගේ මරණ තහවුරු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.
සති දෙකක නොසන්සුන්තාව තුළ පුද්ගලයින් 10,600 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපදය පදනම් කරගත් අයිතිවාසිකම් කණ්ඩායම වන HRANA ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානය නිල වශයෙන් මරණ සංඛ්‍යාව තහවුරු කර නැති නමුත් රාජ්‍ය රූපවාහිනිය ඉරිදා ටෙහෙරාන් මරණ පරීක්ෂක කාර්යාලයේ බිම වැටී තිබූ මළ සිරුරු සහිත බෑග් සිය ගණනක දර්ශන විකාශය කරනු ලැබුවා.
එහිදී රාජ්‍ය නාලිකාව මිය ගිය අය හඳුන්වා දුන්නේ ‘සන්නද්ධ ත්‍රස්තවාදීන්’ නිසා ඇති වූ සිදුවීම්වලට ගොදුරු වූවන් ලෙසයි.
විරෝධතාවලදී මියගිය ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් ගච්සරන් සහ යසුජ් වැනි බටහිර නගරවල පැවැත්වුණු අවමංගල්‍ය පෙරහැර ද ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කර තිබෙනවා. ආරක්ෂක හමුදා සාමාජිකයින් 30 දෙනෙකු මධ්‍යම නගරයක් වන ඉස්ෆහාන්හි හා තවත් හය දෙනෙකු කර්මන්ෂාහි භූමිදානය කළ අතර ඔවුන් කැරලිකරුවන් විසින් ඝාතනය කරනු ලැබූ බව ද සඳහන් කරනු ලැබුවා.
මේ අතර අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන නෙට්බ්ලොක්ස් පවසන ආකාරයට ඉරානයේ අන්තර්ජාල වසා දැමීම සිව්වන දිනටත් ක්‍රියාත්මකය. මේ හේතුවෙන් ඉරානය බාහිර ලෝකය සමඟ සම්බන්ධතාවය 1% ක් දක්වා පහළ බැස ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
