ට්‍රම්ප් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති පදවියට..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා විසින් තමන්වම වත්මන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බවට ප්‍රකාශයට පත් කර ගෙන තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ විකිපීඩියා පිටුවක මෙන් හැඩගස්වා ඇති සංස්කරණ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත පළ කරමිනි. එහි ඔහු වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ලෙස නම් කර ඇති ආකාරය දැකගත හැකියි. එහි ඔහුගේ නිල ඡායාරූපයක් සමඟ එක්සත් ජනපදයේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා ලෙස ද සඳහන්ය.

කෙසේ වෙතත් ඔහුගේ සැබෑ විකිපීඩියා පිටුවේ ඔහු වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස නම් කර නැහැ. කිසිදු ජාත්‍යන්තර ආයතනයක් මෙම ප්‍රකාශය පිළිගෙන ද නැහැ. මෙම ප්‍රකාශය පැමිණෙන්නේ වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මධුරෝ අත් අඩංගුවට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන ඒමෙන් හා ඔහු බලයෙන් පහ කිරීමෙන් දින කිහිපයකට පසුවය.

මෙහෙයුමෙන් පැය කිහිපයකට පසු විධිමත් ක්‍රියාදාමයකින් පාලකයකු පත් කර ගන්නා තුරු ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බවයි ප්‍රකාශ කළේ. මෙම අන්තර් කාලීන කාලය තුළ එක්සත් ජනපදය වෙනිසියුලානු තෙල් අධීක්ෂණය කර ගෝලීය වෙළඳපොළට විකුණන බව ද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීරණය සැලකිල්ලට නොගෙන මධුරෝගේ නියෝජ්‍ය ජනාධිපතිනිය වූ ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්වාර ජනාධිපති ලෙස පත් කරනු ලැබුවා.

එසේ වුවත් ට්‍රම්ප්ගේ තර්ජනය සහ මැදිහත්වීම් අවසන් නොවූ අතර ඔහු ඩෙල්සි රොඩ්‍රිගස් වෙත ද තර්ජනය කරමින් එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු නොකළහොත් “ඉතා විශාල මිලක් ගෙවීමට” සිදුවිය හැකි බවටයි අනතුරු අඟවා තිබුණේ.

එමෙන්ම ඔහු වෙනිසියුලාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව ද පවසමින් නිල නොලත් පාලකයා ලෙස හැසිරෙන ආකාරයද දක්නට ලැබුණා. අමෙරිකාවේ දැවැන්ත තෙල් සමාගම්වල ප්‍රධානීන් කැඳවමින් ඔහු වෙනිසියුලාවේ තෙල් සඳහා ආයෝජනය කරන ලෙස ද දැනුම් දී තිබුණා.

Latest News

error: Content is protected !!