ලාල්කාන්තගේ ප්‍රකාශයෙන් සංඝ සමාජය කැළඹේ..

මහා සංඝරත්නයට අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාට එරෙහිව නිසි පියවර නොගතහොත් රජයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික සංඝ සභාවේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් අනතුරු අඟවා තිබෙනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ‘මිහින්තලේ වනචාරියා’ යනුවෙන් ඇමතීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරමිනි.

මහනුවර මඩවල ජනමංගලරාමය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පැවසූයේ දේශපාලනඥයන් සහ මහා සංඝරත්නය අතර මතභේද වරින් වර පැවතුනද, රටේ ඉතිහාසයේ කිසිදු දේශපාලන නායකයෙකු බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මෙතරම් අපහාස කර නොමැති බවයි.

අසාධාරණයට, දූෂණයට සහ නීතිය උල්ලංඝනය කිරීමට එරෙහිව මහා සංඝරත්නය ඓතිහාසිකව හඬ නැගූ බව පූජ්‍ය ශාසනරතන හිමියන් මෙහිදී අවධාරණය කර සිටියා.

වැරදි ක්‍රියාමාර්ගවලට අභියෝග කිරීමට පූජක පක්ෂයට සදාචාරාත්මක වගකීමක් ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයට හැකි ඉක්මණින් පියවරක් නොගතහොත් රටේ ස්ථාවරත්වයට සහ සමාජ සමගියට බරපතල තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවමින් කඩිනම් පියවර ගන්නා ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙම ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් මහජන ප්‍රතිචාරය නොවැළැක්විය හැකි බව පැවසූ උන්වහන්සේ ජාතියේ සංස්කෘතික හා ආගමික වටිනාකම්වලට අනුකූලව කටයුතු කරන ලෙස ද අවධාරණය කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!