සජිත්ගේ උපන්දිනය දා සමගියේ කොළ එළි දැල්වේ

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක් වීමට නියමිත බවට වන ප්‍රබල ඉඟියක් මතු කරමින් මෙම පක්ෂ දෙකෙහිම නායකත්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවීමක් ඊයේ (12) සිදු වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය සැමරීම සඳහා ඊයේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකදීය. පසුගිය කාල සීමාවේදී දේශපාලන ක්ෂේත්‍රයේ පස මිතුරන් වී සිටි එජාප ප්‍රබලයින් කිහිප දෙනෙක් ඒ අතර සිටි බව වාර්තා වුණා.

විශේෂයෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහභාගී වීම ද කැපී පෙනුණා. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේ දේශපාලන සන්ධානයක් ඇති වීමට වැඩි ඉඩක් ඇති බව පෙන්නුම් කරමිනි.

එජාප මහ ලේකම් තලතා අතුකෝරල මෑතකදී තහවුරු කළ ආකාරයට ද එම සන්ධානය ඇති වීමේ ඉඩ වැඩිය. ඇය ප්‍රකාශ කළ ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම සඳහා යෝජනාවක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඇය ප්‍රකාශ කළේ පක්ෂ දෙකේම පළාත් පාලන ආයතනවල සාමාජිකයින් සම්බන්ධ කරුණු සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ සජබ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටුවක් පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි.

ඒ අනුව නියමිත වේලාවට ඒකාබද්ධ වීම සිදුවනු ඇති බවද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.

Latest News

error: Content is protected !!