පන්සලේ දන් බත් ගිලලා හැදුණු වැඩුණු ලාල් සංඝයා වහන්සේලාට කතා කරන විදිය වැරදියි.. ආනන්ද සාගර හිමි

මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශයට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද විරෝධය දක්වා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ ලාල්කාන්ත අමාත්‍යවරයා සිය දේශපාලන ගමන ආරම්භ කළේත්, හැදී වැඩුණේත් පන්සලේ ඉතිරි වූ දානය ආහාරයට ගනිමින් බවයි.

එවැනි අතීතයක් ඇති ලාල්කාන්ත අමාත්‍යවරයා මහා සංඝරත්නයට අපහාසාත්මක ලෙස බැණ වැදීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව උන්වහන්සේ සඳහන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

2019 වසරේ ආරම්භ වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර දහයක පමණ කාලයක් තිස්සේ ගුරුවරුන්, ආගමික නායකයන් සහ විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් ක්‍රමිකව සිදුවිය යුත්තක් වුවත් වත්මන් ආණ්ඩුව එය කිසිදු පුළුල් සංවාදයකින් තොරව, අකාලයේ උපන් අංගවිකල දරුවෙකු මෙන් මෙම කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට යාමෙන් එය අභියෝගයට ලක් වූ බවයි උන්වහන්සේ එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

“තනි රූල් පොතක් අරන් දෙන්න වත්කමක් නැති ග්‍රාමීය දෙමව්පියන්ගෙන් දරුවන්ට ස්මාර්ට් ෆෝන් ඉල්ලන්නේ ඇයි? අගමැතිවරිය ජීවත් වෙන්නේ එන්ජීඕ (NGO) ග්‍රහලෝකාගාරයක නිසා ඇයට මේ රටේ පොළොවේ ඇත්ත තත්ත්වය සහ ගුණ සුවඳ දැනෙන්නේ නැහැ.”

ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් බැහැදැක වැඳ නමස්කාර කර එන අතරතුර, ලාල්කාන්ත අමාත්‍යවරයා ලවා මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අපහාස කරවීම රජයේ පිළිවෙතදැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

විශේෂයෙන්ම මිහින්තලේ නායක හිමියන්ට එල්ල කළ අපහාසය සමස්ත මහා සංඝරත්නයටම කළ අපහාසයක් බව උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

Latest News

error: Content is protected !!