සත්‍ය පුවත් වාර්තාකරණය හේතුවෙන් ආණ්ඩුවට හිතවාදී පාර්ශවයන් විසින් ‘ලක්වාහිනි’ අප වෙත තර්ජනය කරමින් සිටියි.
අප විසින් මෑතකදී යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් වාර්තා කිරීමෙන් පසු එයට තර්ජනය කරමින් පණිවිඩ ලැබීමට පටන් ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන බව පවසමිනි.
මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් විසින්ද වාර්තා කළ පුවතකි. අප විසින් පළ කළ එම පුවතට විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර මෙම තර්ජන එල්ල වන්නේ ඉන් අනතුරුවයි.
මේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලයින්ගේ සිට එයට පක්ෂ බොහෝ පාර්ශවයන්ට විවේචන දරාගත නොහැකිය. සාධනීය විවේචනයන් පවා ඔවුන්ට දිරවා ගත නොහැකිය. මේ තරම් විවේචනයන්ට බය ආණ්ඩුවක් හා හිතවාදීන් ඉතිහාසයේ කවරදාවත් සිටියාද යන ගැටලුව අප හමුවේ තිබේ.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව විවේචන ඉදිරිපත්වන විට ආණ්ඩුවේ ප්‍රබලයින් මුව හමට තඩි බාන්නා සේ වැරදි පෙන්වා දුන් සියලු දෙනාට නෙළුවේය. අවසානයේ සංඝ සමාජය පවා කුලප්පු කරගත්තේය. විවේචන හමුවේ ආණ්ඩුව ඒ තරම්ම දුර්වලය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පහර එල්ල වෙද්දි ආණ්ඩුවේ කාන්තාවන්ට අපහාස කරනවා යැයි පවසමින් මතුගමදී කාන්තාවන් එක මිටට ඇවිත් විපක්ෂයට එරෙහිව උද්ඝෝෂණයක් කරන ලදී.
ආණ්ඩුව කෝකටත් තෛලය මෙන් හිසේ රුදාවේ සිට විලිරුදාව දක්වාම යන එකම තැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවට පත්වී තිබේ.
එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ නිවැරදි හා ගවේෂණශීලී පුවත් වාර්තාකරණයක නියැලී සිටියද සත්‍ය වාර්තාකරණය කිරීම අපරාධ දෙපාර්තමේන්තුව හමුවට යාමට තරම් වරදක් යැයි අප දැන සිටියේ නැත.
අසන්නට ඇත්තේ මෙපමණකි.
වත්මන් ආණ්ඩුව සත්‍ය වාර්තාකරණයට මෙතරම් බයයිද?
