ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන් කේ.ඩී ලාල්කාන්ත විසින් ‘මිහින්තලේ වනචාරියා” ලෙස අවමන් කළ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ තමන් වහන්සේට අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමීප සබඳතාවයක් ඇතැයි පවසා තිබෙනවා.
මෑතකදී අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු අඩු කර ගැනීමට ද හේතුවූයේ එම සබඳතාවය බවයි උන්වහන්සේ පවසන්නේ.
මිහින්තලේ නායක හිමියන් සහ ට්‍රම්ප් අතර මෙම සමීප සබඳතාවය ගොඩ නැඟුණේ කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙන ගන්නා දරුවෙක් මාර්ගයෙනි.
ශ්‍රී ලංකාවට පැනවූ බද්ද සියයට 30 දක්වා අඩුකිරිමේදී එම ‘දරුවා’, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඥාති දරුවකු හරහා ඇමෙරිකාවට බලපෑම් කිරීමට කටයුතු කළ බවද උන්වහන්සේ අනාවරණය කරනු ලැබුවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ නීති සහාය ලැබුණු මාධ්‍ය හමුවක් අතරතුරදීය.
ලාල්කාන්ත අමාත්‍යවරයා වනචාරියෙකු ලෙස ඇමතීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ තමන් පමණක් නොව බුදුන් වහන්සේගේ සිට ධර්මය මෙරට රැගෙන ආ මිහිඳු මහා රහතන් වහන්සේගේ සිට දේවානම්පියතිස්ස දක්වා සියලු දෙනා සැප සම්පත් අතහැර කැලයට වැදුණු අය බවත් වනචාරීන් වන බව සැබෑවක් බවත් ප්‍රකාශ කර සිටියා.
වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවදුරටත් විවේචනය කරමින් කියාසිටියේ, රජය රට විනාශ කරන ආකාරය පැහැදිලි කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය හැකි බවයි.
